කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලීම නිසා බගවන්තලාව ප්‍රදේශය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා නොර්වුඩ් ප්‍රාදේශීය සභාව මඟින් කෙසෙල්ගමුඔය මීටර් 500ක දුරක් පුළුල් කිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් කරනු ලබන පස් නීත්‍යනුකූලව ඉවත් කර ගැනීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් පෙරේදා (25) බගවන්තලාව ප්‍රදේශයේ පැවති වෙන්දේසියේදී මැණික් ව්‍යාපාරිකයන් සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ජානක උදයකුමාර මහතා, ව්‍යාපෘති ඉංජිනේරු ජී.ඩබ්ලිව්. අමරසිරි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ එම අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බගවන්තලාව ශ්‍රී තෙණ්ඩායුධපාණි හින්දු කෝවිල් සංස්කෘතික ශාලාවේදී පෙරේදා (25) මෙම වෙන්දේසිය පැවැත්විණ.
කෙසෙල්ගමුඔය මීටර් 500ක දුරක් පුළුල් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 140ක වතුයටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ එම ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කරනු ලැබූහ.
එම ව්‍යාපෘතියෙන් ඉවත් කරනු ලබන පස්වල මැණික් ඉල්ලම් ඇති බවට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම පස් නීත්‍යනුකූලව ඉවත් කර ගැනීම සඳහා පැවති වෙන්දේසියේදී ලංසු මුදල වශයෙන් රුපියල් ලක්ෂ 700ක මුදලක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම ලංසු මුදල වැඩි බව පවසමින් වෙන්දේසියට සහභාගී වූ මැණික් ව්‍යාපාරිකයන් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ට සිය විරෝධය දක්වමින් එම ලංසු මුදල අඩු කරන ලෙසට පවසමින් වෙන්දේසියෙන් ඉවත් වීමට ව්‍යාපාරිකයන් තීරණය කරනු ලැබූහ.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම වෙන්දේසිය වෙනත් දිනයක පැවැත්විමට සූදානම් වූ අවස්ථාවේ වෙන්දේසියට සහභාගි වී සිටි පිරිස එම නිලධාරීන් හමුවේ වැඩිදුරටත් පවසා සිටියේ මෙම වෙන්දේසියේ ලංසු මුදල අඩු කර පෙරේදාම (25) පවත්වන ලෙසයි. එසේ නොමැතිනම් වෙන්දේසිය සඳහා පැමිණ සිටින කිසිදු නිලධාරියෙකුට වෙන්දේසිය පැවැත්වු ශාලාවෙන් පිටතට යාමට ඉඩ ලබා නොදෙන බවයි.
ඒ පිළිබඳව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සමඟ දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ එම අධිකාරියේ උසස් නිලධාරීන්ගෙන් ලද උපදෙස් අනුව ලංසු මුදල රු. ලක්ෂ 500 දක්වා අඩු කිරීමට පියවර ගැණින.
ඉන් අනතුරුව බගවන්තලාව කෙසෙල්ගමුඔය මීටර් 500ක් දුරක් පුළුල් කිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් කරනු ලබන මැණික් ඉල්ලම් සහිත පස් ඉවත් කර ගැනීම සඳහා පැවති ප්‍රසිද්ධ වෙන්දේසියේදී බගවන්තලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඒ සඳහා වූ නීත්‍යනුකූල බලපත්‍රය රු. ලක්ෂ 530 මිලකට ලබාගැනීමට කටයුතු කෙරිණ.
එම වෙන්දේසිය සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි.