අකුරැස්ස, මාර/ලේනම කණිටු විදුහලේ පරිගණක කාමරයට ඇතුළුවී එහි තිබූ පරිගණක 02ක් සහ උපාංග සොරකම් කරන ලද එම විදුහලේම සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ලේනම කනිටු විදුහලෙහි පරිගණක කාමරයට රහසිගතව ඇතුළුවී රුපියල් ලක්ෂ 03ක් පමණ වටිනාකමකින් යුතු පරිගණක 02ක් සහ උපාංග යමෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවට විදුහල්පතිවරයා විසින් අකුරැස්ස පොලිසියට පැමිණිලි කර තිබුණි.
ලැබුණ රහසිගත තොරතුරු මත මෙම විදුහලේම 10 වසරෙහි ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකු මෙම සොරකම කර ඇති බවට අකුරැස්ස පොලිසියේ කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශන වලින් පසුව අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව අදාළ සැකකාර සිසුවාගේ නිවස පරික්ෂා කිරීමේදී පරිගණක 02ක් සහ අදාළ උපාංග පෝර උරවල දමා නිවසේ සොල්දරයේ සඟවා තිබියදී සොයා ගෙන පොලිස් භාරයට ගත්හ.
සැකකාර සිසුවා මොරවක දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.