ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සලක මුරකරු ඝාතනයකොට එහි දොරවල් කඩා වෙළෙඳසලට ඇතුළු වී භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් ඊයේ (26) උදෑසන වාර්තා වී ඇති බව ගලේවෙල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ පදිංචි එම වත්තේ සේවය කළ කේ. ස්වාමිනාදන් නමැති 52 හැවිරිදි තිදරු පියෙකු වන අතර, ඔහුගේ බිරිය මේ වන විට විදේශ රටක රැකියාවක් සඳහා පිටව ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගලේවෙල බෙලිගමුව වත්තේ පාලනය වන දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට පිහිටා ඇති අලෙවි සලේ මුරකරු සේවයට පැමිණ සිටියදී රාත්‍රි කාලයේදී කිසියම් පිරිසක් මෙම ස්ථානයට පැමිණ මෙම වෙළෙඳසල ඉදිරිපිට මේසයක් මත නිදාගෙන සිටි මෙම පුද්ගලයාට පහර දී අත්පා සහ මුඛය රෙදි පටිවලින් ගැටගසා පහර දී එම ස්ථානයෙන් පහළට ඇද දමා ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම ස්ථානයට ඊයේ (26) උදෑසන ආහාර රැගෙන පැමිණි කාන්තාවක් වෙළෙඳසල බිඳ දමා ඇති බවත් එහෙත් මුරකරු පෙනෙන්නට නොමැති නිසා අවට අයට දැනුම් දීමෙන් අනතුරුව මේ පිළිබඳව විස්තරය හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් බෙලිගමුව වත්තේ සේවක සේවිකාවන් අසූවකට අධික පිරිසක් සේවය කරන බවත් එම සේවකයන් සියලුදෙනාම උදෑසන එම ස්ථානයට පැමිණ සංවේදී වන්නට වූහ.
එහි සේවක සේවිකාවන් පවසා සිටියේ මෙම කේ. ස්වාමිනාදන් නමැති ඝාතනයට ලක්ව ඇති සේවකයා වසර තිහකට අධික කාලයක් මෙම වත්තේ කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙකු බවයි. හොඳම කම්කරුවා ලෙස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මඟින් ප්‍රශංසා පවා හිමි කරගත් සේවකයකු බව ද ඔවුන් සඳහන් කර සිටී. මෙම අලෙවි සල අවස්ථා තුනකදී මේ ආකාරයෙන්ම සොරුන් විසින් කඩා එහි මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් තිබුණු බවත් එහෙත් පාලන අධිකාරිය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකොට එහි මුරකරුවන්ගෙන් එම මුදල් අයකර ගෙන තිබෙන බව ද ඔවුන් චෝදනා කරන්නට වූහ. මෙසේ ඝාතනය වූ ස්වාමිනාදන් මහතා ද මෙම ස්ථානයේ මුරකාර සේවයට පැමිණීමට නොහැකි බව ප්‍රකාශ කළ බවත් එහෙත් පාලන අධිකාරිය මෙම පුද්ගලයාට බැණවැදී නැවත එම ස්ථානයේ රැකියාවට යොමු කළ බව ද ඔවුන් චෝදනා කරන්නට වූහ. අවස්ථා කිහිපයක මෙයාකාරයේ ක්‍රියාකාරකම් සිදුවී ද ඊට නිසි පිළියම් යෙදුවේ නම් සේවකයා මේ ආකාරයෙන් ඝාතනය වීම වැළැක්වෙන බව ද සේවකයෝ දැඩිව චෝදනා කරන්නට වූහ.
පසුව එම සේවකයන් පොලිස් නිලධාරීන් ඉදිරිපිටට පැමිණ නොසන්සුන් ආකාරයෙන් හැසිරෙමින් පවසා සිටියේ වහාම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වතු පාලන අධිකාරියෙන් ප්‍රශ්න කරන ලෙසය. එමෙන්ම මෙම සේවකයාගේ ඝාතකයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ද ඔවුහු පොලිසියෙන් කෑගසමින් ඉල්ලන්නට විය.
මුළු රටම මත්ද්‍රව්‍ය, පාතාල, කුඩු, ගංජාවලට යටවී මේ ආකාරයෙන් මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මිනිසුන් බල්ලන්, බළලුන් ලෙස ඝාතනය කොට සොරකම් කිරීම් සෑම තැනම සිදුවන බව ද බෙලිගමුව සේවකයෝ කෑගසමින් පොලිසියට චෝදනා කිරීම විශේෂත්වයකි.
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකොට වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ගලේවෙල පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මන් තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති විපුල බණ්ඩාර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.