කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවතදී යතුරුපැදියක් සහ ජීප් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසු යතුරුපැදිකරු විසින් ජීප් රථයේ රියැදුරු වාහනයෙන් පිටතට ඇද දමා ජීප් රථය පැහැරගෙන යෑමක් සම්බන්ධයෙන් කඩවත පොලිසිය විමර්ශනයක් ඇරඹීය.
මෙම සිදුවීම වී ඇත්තේ පෙරේදා (25) සවස් කාලයේදීය.
පැලවත්ත සිංහපුර පදිංචි පුද්ගලයකු විසින් පදවාගෙන යමින් සිටි හයිහුන්ඩායි වර්ගයේ අදාළ ජීප් රථය යතුරුපැදියේ ගැටී ඇත්තේ පසුපසින් පැමිණය. එහිදී යතුරුපැදිකරු ජීප් රථයේ රියැදුරු සමඟ ආරවුලක පැටලී ඇති බවත් එවිට තවත් පිරිසක් එතැනට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ජීප් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බියට පත්ව ජීප් රථයට නැඟී එම ස්ථානයෙන් ඉවත් වීමට උත්සාහ ගත් අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පුද්ගලයන් අතර සිටි අයකු විසින් රියැදුරු අසුනින් ඔහුව පිටතට ඇද දමා ජීප් රථය පැහැරගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම ජීප් රථය කල්මුණේ පුද්ගලයකුගෙන් කුලී පදනම මත ධාවනයට ලබාගෙන තිබූවක් බවය. පැහැර ගැනීම කර ඇත්තේ ජීප් රථයේ ලියාපදිංචි හිමිකරු බවද අනාවරණය වී ඇත. එහි හිමිකරු විසින් කල්මුණේ පුද්ගලයාට එම ජීප් රථය කුලී පදනම මත දී ඇති බවත් ඔහු විසින් එය නැවත කුලියට දී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත. කල්මුණේ පුද්ගලයා මේ වන විට රටින් බැහැර ගොස් ඇති බවත් ඔහු විසින් රථයේ ලියාපදිංචි හිමිකරුට මාස 38ක් පුරාවට මුදල් ගෙවා නැති බවද පෙනී ගොස් ඇත. එබැවින් මෙසේ ජීප් රථය පැහැරගෙන ඇති බව පොලිසිය කියයි.
තමන්ට අයත් ජීප් රථය නැවත අත්පත් කර ගැනීමට පොලිසියට පැමිණිල්ලක් කර නීතිමය ක්‍රියාවලියකට අනුව සිදු කිරීමට හැකියාව තිබියදී එය සිදු නොකර පැහැර ගැනීමක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ජීප් රථය පැහැරගත් අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය කියයි.