මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් බලහත්කාරයෙන් සිරකර තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයන් 13 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26) නියෝග කළේය.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, අයුතු අවහිරය, අයුතු ඇතුළු වීම යන චෝදනා සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
එම සිදුවීමට අත්අඩංගුවට ගත් ආරියවංශ බණ්ඩාර රඹුක්වැල්ල, උදය කුමාර, සේනානායක ගමගේ තුෂාර කැලුම්, අජන්ත හේමාල්, රවීන්ද්‍ර බණ්ඩාර, අමිල් බුද්ධික, චමින්ද කුමාර, ඉන්දික කුමාර, ප්‍රේමරත්න, ශ්‍රීමත් ජයන්ත, රවීන්ද්‍ර උදයංග, සුදත් රෝහණ, බානු ප්‍රදීප් කුමාර නමැති මිල්කෝ සමාගමේ වෘත්තිය සමිති නායකයන් ඇතුළු සේවකයන් 13 දෙනකු මෙලෙස ඇප මත මුදා හැරිණි. ඇපකරුවන්ගේ පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගැණුනු තීන්දුවක් මුල් කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවත් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනකු කාර්යාලයෙන් පිටවීම වැළැක්වීමට එහි සේවකයන් පිරිසක් කටයුතු කර තිබූ බවත් සැකකරුවන් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ලැබුණු දුරකතන ඇමතුමක් මත කොල්ලුපිටිය පොලිසිය එහි ගිය බවත් පොලිසියේ මැදිහත් වීමෙන් සභාපතිවරයා ඇතුළු පිරිස පිටතට රැගෙන ආ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. හිඟ වැටුප් ගෙවන ලෙස කම්කරු කොමසාරිස්වරයා ලබා දුන් නියෝගයක් සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය.