Saturday, April 19, 2025
Home » වැඩි මිලට හාල් විකුණන කඩ වැටලීම රට පුරා තදටම

වැඩි මිලට හාල් විකුණන කඩ වැටලීම රට පුරා තදටම

පැමිණිලි 1977 දුරකතන අංකයට

by mahesh
October 27, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

දිවයින පුරා සහල් වැඩි මිලට විකුණන තැන් සොයා පුළුල් වැටලීම් තදින්ම ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පියවර ගෙන තිබේ.

ඒ අනුව සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අධිකාරිය කටයුතු කර ඇති අතර, එම මිල ගණන්වලට වඩා වැඩි මිල ගණන්වලට සහල් විකුණන වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

2278/02 දරන ගැසට් නිවේදනයට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රුපියල් 260/-, සම්බා රුපියල් 230/-, නාඩු රුපියල් 220/-, රතු කැකුළු රුපියල් 210/-ක් ලෙසය.

ඒ අනුව සහල් අලෙවි කිරීමේදී ඉහත මිල ගණන්වලට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳුන් වෙත දැනුම් දී ඇති අතර, වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් ද පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් ද අධිකරණය මඟින් නියම කළ හැකි බව ද නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත.

සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදු කරනු ලබන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් රජයේ නිවාඩු දිනවල ද සතිඅන්තයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද වැටලීම් සිදු කරන ලෙස ද එමෙන්ම සියලු තොග සහ සිල්ලර වෙළෙඳ සැල් පරීක්ෂාවට ලක් කරන ලෙස ද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳ සැලක් වේ නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකතන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT