නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී.ටී. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනකුට අයත් රුපියල් කෝටි 9කට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපොළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඊයේ (26) නියෝග නිකුත් කළේය.
ඉඩම් 8ක් තහනම් කරමින් නුවර හා කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග නිකුත් කළේය.
ඔන්මැක්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අතුල සම්පත්, සැමි නොහොත් ප්‍රසන්න චතුරංග සමරකෝන් හා සාරංග ජයනාත් යන අයට හිමි ඉඩම් මෙලෙස තහනම් කෙරිණ.
සැකකරුවන් විසින් නීති විරෝධීව උපයන ලද මුදලින් මෙම ඉඩම් ලබාගෙන ඇති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවත්වන විමර්ශනයන්ට අදාළව අධිකරණයෙන් මෙම නියෝග ඉල්ලා සිටියේය.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඔන්මැක්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් කෝටි හැට තුනකට අදාළ දේපොළ අධිකරණයේ මඟින් තහනම් කරමින් නියෝග නිකුත් කෙරිණ.
ඉඩම් 20ක ප්‍රමාණයක් තහනම් කරමින් කළුතර හම්බන්තොට කඩවත ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර තිබිණි. සැකකරුට අයත් ඉඩම් එකම දිනයකදී ඔහුගේ බිරියට ඉඩම් 8ක් ද ඔහුගේ මිතුරකුට ඉඩම් 12ක් ද පවරා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කර තිබිණ.
මාතර ප්‍රදේශයේ ඉඩම් හයක් ද හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් දෙකක් ද කළුතර ප්‍රදේශයේ ඉඩම් දහයක් ද කඩවත ප්‍රදේශය ඉඩම් දෙකක් ද මෙසේ තහනම් කෙරිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.
ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන් යන අයගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක්, අතුල ඉන්දික යන අයගේ බැංකු ගිණුමේ කෝටි 2ක්, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක්, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක්, ගයාෂාන් යන අධ්‍යක්ෂවරයාගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සමාගම අමෙරිකානු ඩොලර් කෝටි දහයක් නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනුවලින් උපයා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් ද තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.