Home » ශ්‍රී ලංකාව සහ මෙක්සිකෝව අතර නිල සබඳතා අරඹමින් ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ මෙක්සිකෝව අතර නිල සබඳතා අරඹමින් ගිවිසුමක්

by mahesh
October 27, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සහ මෙක්සිකෝව අතර නිල සම්බන්ධතා ආරම්භ කරමින් දෙරට අතර ගිවිසුමකට එළැඹ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ මෙක්සිකෝව අතර සමාජ, ආර්ථික, දේශපාලන, මානව හිමිකම් සහ සංචාරක ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මේ ගිවිසුමට එළැඹ තිබෙන අතර, එය මෙක්සිකෝවේදී අත්සන් කළ බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එය වසර 10ක උත්සාහයක් මල්ඵල දැරීමක් වන අතර, අමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතා සහ මෙක්සිකෝ නියෝජ්‍ය විදේශ ඇමැතිනී කාමෙන් මොරෙනෝටොස්කානෝ මහත්මිය එම ගිවිසුමට අත්සන් කර ඇත. ඒ හරහා දෙරට අතර ශක්තිමත් යන්ත්‍රණයකට පදනම වැටී තිබේ.

ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ නියෝජ්‍ය විදේශ ඇමැතිනිය අතර වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික ගැටලු සහ එයින් මිදීමට ගත් ක්‍රියාමාර්ග ගැන තානාපතිවරයා පැහැදිලි කර තිබේ. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මානව හිමිකම්, සංහිඳියාව ගැන ද අවධානය යොමු කෙරිණි. දෙරට අතර නිල සාකච්ඡා කොළඹදී පැවැත්වීමේ එකඟතාව ද ඇති විය.

එරට විදේශ අමාත්‍යාංශ මානව හිමිකම් අධ්‍යක්ෂ ජනරාල් රොබෙටෝ ඩිලිටයොන් මහතා සමඟ කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා සංහිඳියාව වෙනුවෙන් ගත් පියවර පැහැදිලි කර තිබෙන අතර, සෙනෙට් සභික හෙක්ටර් වැස්කොන්සිලොස් මහතාගේ හමුවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලිපියක් ඔහුට භාරදීම ද සිදුව ඇත.

අගමැතිගේ සහ සෙනෙට් සභිකයාගේ පියවරුන් අතර තිබූ සබඳතාව එයින් පෙන්වා දී තිබෙන අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ අනාගත ඉලක්ක ගැන ද තානාපති මහින්ද සමරසිංහ මහතා පැහැදිලි කර තිබේ. මෙක්සිකෝවේ ආයෝජන හා තාක්ෂණ ආයතනයේ (කොම්සේ) උප සභාපති ජෝර්ජ් ලොපෙස් මහතා සහ තානාපතිවරයා අතර හමුවේදී දෙරට අතර ව්‍යාපාර හා ආයෝජන අපනයන අවස්ථා ගැන අවධානය යොමුව තිබේ.

ඒවා වැඩිදියුණු කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාව පළවී තිබෙන අතර, දෙරට වාණිජ මණ්ඩල හරහා ඒකාබද්ධ ව්‍යාපාර ඇති කිරීම සහ මෙක්සිකෝවෙන් ප්‍රතිඅපනයනය සිදු කිරීම ගැන ද අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකාවේ කුරුඳු, තේ, පිඟන් බඩු ඇඟලුම්වලට වැඩි ඉඩක් ගැනීමට තානාපතිවරයා දැරූ උත්සාහයට ඉහළ ප්‍රතිචාර පළ විය. තානාපති කාර්යාලයේ ඇමැති (වාණිජ) චරිත යත්තෙගොඩ මහතා එහිදී කරුණු පැහැදිලි කරමින් ලංකාවෙන් අපනයනය කළ හැකි දේවල් සහ පෝට් සිටි ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන පැහැදිලි කළේය. විමසූ ප්‍රශ්නවලට ද ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රමුඛ දූත පිරිස පිළිතුරු දුන් අතර, තෙවන ලේකම් තාරක දිසානායක මහතා ද මේ අවස්ථාව නියෝජනය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT