අංශභාග රෝගය ඇතිවීමේ අවදානම 50%කින් වර්ධනය වෙලා
– රත්නපුර ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ අධ්‍යයන භෞත චිකිත්සකවේදී මිතුන් සේනාරත්න
වසරකට ආඝාත රෝගීන් 60,000ක් පමණ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට යොමු වන බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පැවැසුවේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (25) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“වයස අවුරුදු 25ට වැඩි පුද්ගලයන් සෑම හතර දෙනකුගෙන්ම එක් අයකු ආඝාත රෝගයට ගොදුරු වෙනවා. මේ රෝගයට දෛනිකව ගොදුරු වන සංඛ්‍යාව ඉහළ යනවා. අධිරුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් තැන්පත් වීම, දුම්බීම, මත්වතුර භාවිතය, මානසික ආතතිය, ව්‍යායාම නොමැතිකම, ක්ෂණික ආහාරවලට පෙළඹීම ආදී සාධක පාලනය කර ගැනීමෙන් ආඝාත රෝගයෙන් වැළකී සිටිය හැකියි.
ආඝාත තත්ත්වය එක්වරක් වැළඳුනොත් එයින් සියයට 25කට යළි වැලඳීමට හැකියි. මුහුණේ එක් පසක් ඇදවීම, වචන පැටලීම ආදිය ආඝාතයේ රෝග ලක්ෂණ. රට පුරා සුවදිවි සායන 800ක් පමණ තිබෙනවා. මේ සුවදිවි සායනවලට සහභාගි වීමෙන් රෝගය කලින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි.”
මේ මස 29 වැනි දිනට යෙදෙන ආඝාත දිනය නිමිත්තෙන් රත්නපුර ශික්ෂණ රෝහලේදී ද ඊයේ (26) දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවති අතර එහිදී අදහස් දැක්වූ රත්නපුර ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂ අධ්‍යයන භෞතචිකිත්සකවේදී මිතුන් සේනාරත්න මහතා ද මෙලෙස අදහස් දැක්වීය.
“පසුගිය වසර 17 කාලයේ මස්තිෂ්ක ආඝාත තත්ත්වය හෙවත් අංශභාග රෝගී තත්ත්වය ඇති වීමේ අවදානම 50%කින් වර්ධනය වී ඇති බව 2022 සමීක්ෂණ දත්ත වාර්තා අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. සෑම පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් පුද්ගලයකු අංශභාග රෝගී තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා.
මේ වන විට මස්තිෂ්ක ආඝාත රෝගය ලෝකයේ මිනිසුන් මියයෑමට හේතු වන රෝග අතරින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. පුද්ගලයන් ආබාධිත තත්ත්වයට පත් කරන රෝග අතර ප්‍රමුඛ ස්ථානයට පත්ව තිබෙනවා. දැනට ලෝක වසංගත තත්ත්වයක ප්‍රමාණුපාතය දක්වා මේ රෝගී තත්ත්වය පැමිණ තිබෙනවා. 2014 මෙරට සෞඛ්‍ය සමීක්ෂණ දත්ත වාර්තා අනුව රෝහල්වල මිනිසුන් මියයෑමට හේතු වන රෝග අතරින් තෙවන ස්ථානය මස්තිෂ්ක ආඝාත තත්ත්වයට හිමි වී තිබෙනවා. 2019 එය හත් වන ස්ථානය දක්වා අඩු වී ඇතත් 2022 මෙරට සෞඛ්‍ය සමීක්ෂණ දත්ත වාර්තා අනුව රෝහල්වල මියයන මිනිසුන්ගෙන් 8.5%ක් පමණ මේ රෝගී තත්ත්වය නිසා සිදු වන බව පැහැදිලිවී තිබෙනවා.
ආඝාතය මොළයට රුධිර සැපයුම අඩාලවීම නිසා ඇති වන තත්ත්වයක්. මේ නිසා මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් සැපයුම අඩාල වන බැවින් මොළයට හානිවී මොළයේ සෛල මරණයට පත් වී ඒ හා සම්බන්ධ ක්‍රියාකාරම් අඩාල වෙනවා. මෙයට හේතු වන්නේ මොළයට රුධිරය සපයන වාහිනියක, ධමනියක මේදය තැන්පත්වීම නිසා ධමනි කුහරය සිහින්වීම හෝ මොළයට රුධිරය සපයන වාහිනියක, ධමනියක රුධිර කැටිති හෝ රුධිර පට්ටිකා සිරවීම හේතුවෙන් මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් පුපුරා යෑම නිසා සිදු වන අභ්‍යන්තර රුධිර ගැලීම්. මෙහිදී ආංශික වශයෙන් හෝ පුර්ණ වශයෙන් අබාධිත තත්ත්වයට පත්වෙනවා. ඉහළ ගාත්‍රා කොටස්වල (අත්) සහ පහළ ගාත්‍රා කොටස්වල (කකුල්) අංශභාගයට පණ නැති ස්වභාවයට අමතරව කථනයේ දුර්වලතා, මතකයේ සිදු වන දුර්වලතා ද ඇතිවෙනවා. අධි රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරගත ඉහළ කොලෙස්ටරෝල් මට්ටම, අධික තරබාරුව, අඩු ශාරීරික ක්‍රියාකාරකම්, දුර්වල ආහාර පුරුදු, දුම් පානය සහ මානසික ආතතිය මෙයට බලපාන අවදානම් සාධක වෙනවා.
වයස, ස්ත්‍රී/පුරුෂ භාවය, ජන වර්ගය, පරම්පරාගත රෝගී තත්ත්වයන් වෙනස් කළ නොහැකි අවදානම් සාධක වෙනවා. අංශභාග රෝගීන්ගේ පූර්ණ සුවපත්භාවයට භෞතචිකිත්සකවේදීන් භෞතික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හෙවත් ප්‍රතිකාර ව්‍යායාම අනුගමනය කරනවා. මෙහිදී එක් එක් රෝගීන්ට විශේෂණය වූ ප්‍රතිකාර, ව්‍යායාම පුරුදු පුහුණු කිරීම සහ ඉගැන්වීම සිදු කරනවා. මෙමඟින් බලාපොරොත්තු වන්නේ මොළයේ සෛලවල ස්නායුක ස්විකර්යතාවය ඇති කිරීමෙන් රෝගියාගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වය හෝ ඊට ආසන්න මට්ටම් දක්වා රැගෙන ඒමයි. මේ ප්‍රතිකාර ව්‍යායාම මඟින් සන්ධිවලින් අස්ථි අවසන්ධි වීම, සංවේදනා ග්‍රහණය වීමේ දුර්වලතාව, අත් හා පාදවල මාංශ පේශි ඝන වීම නිසා වි විනාඩි 30ක පමණ කාලයක් ශාරීරික ක්‍රියාකාරකම්වල නිතර වීමෙන් මේ අංශභාග තත්ත්වය ඇතිවීමේ අවදානම අඩු මට්ටමක් දක්වා ළඟා කර ගත හැකි වෙනවා.”