Monday, April 21, 2025
Home » දිවි නසාගත් එක් දරු පියාගේ මවත් පුතු නැති සොවින් මියයයි
මවට සලකන්නේ නැතැයි ප්‍රා/ලේ බැන්නැයි

දිවි නසාගත් එක් දරු පියාගේ මවත් පුතු නැති සොවින් මියයයි

by mahesh
October 27, 2023 1:00 am 0 comment

ඌරුබොක්ක විශේෂ - ඒ.පී. දයාචන්ද්‍ර

මවට සලකන්නේ නැත කියා ප්‍රාදේශීය ලේකම්වරයා බැන වැදුණැයි ලිපියක් ලියා තබා රෙදි සෝදන කුඩු වර්ගයක් පානය කර පසුගියදා (23) සිය දිවි හානි කරගත් 59 වියැති එක්දරු පියාගේ මවද පුතුගේ වියෝව දරාගත නොහැකිව රෝහලේ දී මිය යෑමේ ශෝකජනක පුවතක් පිටබැද්දර කොස්නිල්ගොඩ ග්‍රාම නිලධාරි වසමෙන් අසන්නට ලැබිණි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මොරවක, කොස්නිල්ගොඩ, ගුරුබැවුලේ පදිංචිව සිටි එම්.වී. ලීලාවතී (90) නමැති දෙදරු මවයි. ඇය වාසය කර ඇත්තේ තම පුතු වන පසුගිය 23 දා සිය දිවි හානි කරගත් වරගල ජාතුන්ගේ බන්ධුසේන සමඟය. බන්ධුසේන සිය බෑනා හදිසි අනතුරකට ලක් වීමෙන් ඇති වූ කැඩුම් බිඳුම්වලට බෙහෙත් කිරීමට මව බිම මෙට්ටයක තබා බැහැරට ගිය අවස්ථාවේ පැමිණි වසමේ ග්‍රාම නිලධාරිනිය පැමිණ මව බිම තබා තිබෙන ආකාරය ඡායාරූප ගෙන ඒවා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම්වරයාට දී තිබේ. මේ පිළිබඳ වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම්වරයා බන්ධුසේන තමා හමුවට කැඳවා ඇත. එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා විශාල පිරිසක් ඉදිරියේ තමාට බැණවැදුණු බවත්, තමාට කිසිවක් කතා කිරීමට ඉඩ නොදුන් බවත්, මවට නොසැලකීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මොරවක පොලිසියට දැනුම් දී, ඉතිරි ටික පොලිසියෙන් බලාගනියි කියා නිවෙසට එවූ බවත් පිටු දෙකක ලිපියක් ලියා තබා, එදින (23) දහවල් රෙදි සෝදන කුඩු වර්ගයක් අඩංගු පැකැට් තුනක් පානය කර නිවෙස ආසන්නයේ ලඳු කැලෑවක මිය ගොස් සිටියදී ඉකුත් 24 දින පෙරවරුවේ ඥාතීන් විසින් බන්ධුසේනගේ සිරුර සොයාගෙන තිබිණි.

පුතු සියදිවි හානි කරගෙන ඇති බව දැනගත් 90 හැවිරිදි මවද 24 දින උදේ අසනීප වී මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවට පවුලේ ඥාතීන් පවසති.

මිය ගිය මව ඊට පෙර ජීවත්ව ඇත්තේ මවගේ මහ ගෙදරයි. සිය නැඟණියගේ අඩන්තේට්ටම් නිසා මව නිවෙසින් ගොස් තැනින් තැන ඇවිදමින් සිටින අවස්ථාවේ වසමේ ග්‍රාම නිලධාරිනියද දැනුවත් කර මව තම නිවෙසට රැගෙන විත් කෑම බීම දී සෝදා පිරිසිදු කර රැක බලාගෙන ඇත්තේ මේ බන්ධුසේන පුතු විසින් බව ගම්වාසීහු අප සමඟ පැවසූහ. මෙසේ ඔහු තම මව රැක බලාගෙන සිටින අතරතුර ඔහුගේ නැඟණිය සහෝදරයා මවට නොසලකන බව පවසා ග්‍රාම නිලධාරිනිය ඇතුළු රජයේ නිලධාරීන් නොමඟ යවා ඇති බවත්, ඒ හේතුවෙන් මේ අවසාවන්ත මරණ දෙක සිදු වූ බවට ගම්වාසීහු පවසති. සියදිවි හානි කරගත් පුද්ගලයා ගමේ හැම කෙනාගේම සිත දිනාගෙන ගමේ හැම දෙනාටම උදවු කරගෙන ජීවත්ව ඇති බවත්, සුරා සූදුවෙන් තොරව වයෝවෘද්ධ මවට උපරිම ආකාරයෙන් සලකමින් සිටි බවත් ගම්වාසීන්ගේ කතාබහින් අපට වටහාගත හැකි විය.

දිවි නසාගත් බන්ධුසේනගේ අවසන් කටයුතු ඉකුත් 25 දින සවස පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණු අතර, එදිනම ඔහුගේ මවගේ සිරුරද රජයේ වියදමින් පිටබැද්දර ප්‍රාදේශයේ පොදු සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT