Home » දරුවෝ දෙන්නා මගේ අම්මා ළඟ තියා නෝනා රට ගියේ දරුවන්ට උගන්නලා ගෙයක් හදාගන්නයි

දරුවෝ දෙන්නා මගේ අම්මා ළඟ තියා නෝනා රට ගියේ දරුවන්ට උගන්නලා ගෙයක් හදාගන්නයි

by mahesh
October 27, 2023 1:00 am 0 comment

සිරිපුර මදුශානි අබේසිංහ
සපත්තු මසා ජීවත්වන ස්ථානය

දරුවෝ දෙන්නෙක් බලාගන්න ගිය එයාට දරුවො 9ක් බලාගන්න වෙලා: 
දැන් අසනීපෙන් සිටින භාර්යාව ලංකාවට ගෙන්නලා දෙන්න
– සැමියා හඬා වැටෙයි

දරුවෝ දෙන්නා ආච්චි ළඟ තියලා මගේ බිරිය රට ගියේ දරුවන්ට උගන්වන්න. ස්ථිර ගෙයක් හදාගෙන ණය ටික ගෙවාගන්න.සෞදියේ ගෘහ සේවයට ගිය එයාට දැන් හොඳටම අමාරුයි.වැඩක් පලක් කර ගන්න බෑ. අත් ඉදිමිලා. එයා ගියේ දරුවො දෙන්නෙක් බලාගන්න. එයාට දැන් දරුවෝ නවයක් බලාගෙන තෙමහල් ගොඩනැඟිල්ලක සියලුම වැඩ කරන්න වෙලා. එයා ගෙන්වාගන්න කියලා නිතරම අපට කෝල් කරනවා. අම්මා ගෙන්නලා දෙන්න කියා දරුවෝ නොකා නොබී අඬනවා. දරුවො දෙන්න බලාගන්න මගේ අම්මටත් හොඳටම දැන් අසනීපයි. බිරිය ගෙන්වාගන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයටයි, ඒජන්සියටයි කිව්වට පස්සේ රුපියල් ලක්ෂ දහයක් ඉල්ලනවා. මම බිරිය ගෙන්වාගන්න නොගිය තැනක් නෑ. සපත්තු, කුඩ අලුත්වැඩියා කරන මට රුපියල් ලක්ෂ දහයක් හොයාගන්න එක හීනයක්. දරුවෝ දෙන්නගෙයි, මගෙයි, බිරියගෙයි, ජීවිත විනාශ වෙන්න ඉස්සර මට බිරිය ගෙන්වලා දෙන්නැයි දිඹුලාගල අරලගංවිල ජයමුතුගම අංක 217/ 01 ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එස්.කේ ප්‍රේමරත්න මහතා හඬා වැටෙමින් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

කුරුණෑගල බෝධිරාජ මාවතේ පිහිටි විදේශ රැකියා ආයතනයකින් 2023 ජුනි 24 වැනිදා සෞදියේ ගෘහ සේවයට ගොස් මේ වන විට දැඩි අසරණභාවයට පත්ව සිටින කේ. ඉනෝකා තිලකරත්න මහත්මිය විදේශගත වූයේ ස්ථිර නිවසක් සකසාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සහ ණය ගෙවා ගැනීමේ සිහිනය ඇතිවය.

එහෙත් ඇයට මාස කීපයක් ගත වෙන්නටත් පෙර ඇති වූ රෝගී තත්ත්වය සහ නොසිතූ අයුරින් දරුවන් නවදෙනකු රැකබලා ගැනීමෙන් තෙමහල් ගොඩනැඟිල්ලක සියලු වැඩ කිරීමට සිදුවූ නිසාත්, ඇයගේ දරුවන් හඬා වැලපෙන නිසාත් ඇයට යළි ලංකාවට ඒමට සිදු වී තිබේ.

ඒ සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් අවශ්‍ය වන අතර, එම මුදල උපයා ගැනීමට තමන්ට සිහිනයක් වී ඇති බව ඉනෝකා රත්නායක මහත්මියගේ සැමියා වන ඩබ්ලිව්.එස්.කේ. ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

සැමියා සිය දුක්ගැනවිල්ල මෙලෙස ඉදිරිපත් කළේය.

‘මහත්තයෝ අපට කුඹුරු ඉඩම් නැහැ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අයට උගන්නා ගන්න වත්කමක් තිබුණේ නැහැ. අපි ගොඩක් ණය වෙලා හිටියේ, ඒ වගේම ඉන්න හිටින්න හරිහමන් ගෙදරක් තිබුණේ නෑ. ඒ නිසා තමයි මගේ නෝනා දරුවෝ දෙන්නා මගේ අම්මා ළඟ තියලා රට ගියේ. දැන් දරුවො අඬනවා අම්මා ගෙන්නලා දෙන්න කියලා. කුරුණෑගල ඒජන්සියකින් තමයි එයා රට ගියේ. දරුවෝ දෙන්නෙක් බලාගන්න කියලා ගියාම දැන් දරුවෝ නව දෙනෙක් බලාගන්න වෙලා. ඒ මදිවට තෙමහල් ගොඩනැඟිල්ලක හැම වැඩක්ම කරන්න වෙලා. ඒ නිසාම එයාගේ දකුණු අත පණ නෑ කියා කියනවා. තවත් රෝග කීපයක් තියෙනවා කියා ලංකාවට ගෙන්වාගන්න කියලා නිතරම කෝල් කරනවා.මම මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කළා.නෝනා ගෙන්වා ගන්න ඇස්තමේන්තුව හදන්න විදේශ සේවා එකෙන් රුපියල් ලක්ෂ තුනක් ඉල්ලනවා. එයා ගෙන්වාගන්න වෙනම ලක්ෂ හතක් ඉල්ලනවා. ඉතින් සපත්තු, කුඩ,අලුත්වැඩියා කර ගන්න ආදායමෙන් මට එච්චර මුදලක් හොයාගන්න අමාරුයි. ඒ නිසා අපේ ජීවිතත්,එයාගෙ ජීවිතයත් විනාශ වීමට පෙර මගේ නෝනා ලංකාවට ගෙනත් දෙන්න කියා ජනාධිපතිගෙනුත්, විදේශ කටයුතු ඇමැතිගෙනුත් ඉල්ලා සිටිනවා යැයි ප්‍රේමරත්න මහතා හඬා වැලපෙමින් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT