හමාස් සංවිධානය සිදු කළ ප්‍රහාරයට ගාසා තීරයේ අහිංසක කාන්තාවන්, දරුවන් හා වැඩිහිටි පුද්ගලයන්ට දඬුවම් කිරීම වරදක් බව රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම ඊශ්‍රායල – හමාස් යුද්ධය මැදපෙරදිගින් ඔබ්බට යා හැකි බවටත් ඔහු අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තා වේ.
ක්‍රෙමලීනයේදී රුසියානු ආගමික නායකයන් සමඟ පැවැති සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා මේ අදහස් පළ කර ඇති අතර, අරාබි කලාපයේ ලේ වැගිරීම වහා නැවැත්විය යුතු බවත් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එසේ නොවන්නේ නම් මීට වඩා පුළුල් යුද්ධයක් පැතිරී යා හැකි බව සෙසු රාජ්‍ය නායකයන් සමඟ දුරකතනය ඔස්සේ පැවැති සාකච්ඡාවලදී තමා පෙන්වා දුන් බවත් පුටින් ප්‍රකාශ කර තිබේ.
අර්බුදය දුරදිග යෑම බරපතළ හා අතිශය භයානක මෙන්ම විනාශකාරී ප්‍රතිවිපාකවලින් පිරෙනු ඇත. මැදපෙරදිග පමණක් නොව එම දේශසීමා ඉක්මවා බොහෝ දුරට යුද්ධය පැතිරී යා හැකිය. පුටින් වැඩිදුරටත් එසේ සඳහන් කර තිබේ.
ඊශ්‍රායල – පලස්තීන ගැටුමට රාජ්‍ය දෙකක විසඳුම වෙනුවෙන් රුසියාව දිගින් දිගටම පෙනී සිටින බවත්, දිගුකාලීන විසඳුමකට ඇති එකම මාර්ගය එය පමණක් බවත් ඔහු ප්‍රකාශ කර ඇත.