විසිපස් වැනි සැමරුම් උත්සවය පවත්වන දිනට දකුණු ආසියාවේ ඉහළම හා ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය බවට පත් වීමේ සැලසුම්සහගත ඉලක්කය ජය ගැනීමේ අරමුණින් කටයුතු කරන්නේ යැයි NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා සඳහන් කරයි. NSBM හරිත විශ්වවිද්‍යාලයට වසර හතක් සපිරුණි. මේ ඒ පිළිබඳව සිදු කළ සාකච්ඡාවකි.
NSBM හරිත විශ්වවිද්‍යාල ආරම්භය කෙසේද සිදු වුණේ, ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අප ඈත අතීතයේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජීය සබඳතා හා ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දැනුම් සම්භාරයකට උරුමකම් ලැබූ අයයි. වාරි ක්‍රම, වාරි කර්මාන්ත, කෘෂිකාර්මික ජීවනෝපායක් සහිතව ලොව දිනා ගැනීමට තරම් ශක්තිමත් වූ නිපුණතා, කුසලතාවලින් හෙබි ජාතියක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගත ලෝකය දිනීමේ රහස අධ්‍යාපනයෙන් දැයේ දූ දරුවන් සවිබල ගැන්වීම මත රැඳී පවතිනවා.
අධ්‍යාපනයෙන් සන්නද්ධ වූ මානව සම්පතක් ගොඩනඟා ගැනීම දැයේ සංවර්ධනයේ දියුණුවේ රහසයි. මේ ආකාරයට කුසලතා, හැකියාවන්, නව නිපැයුම් හා නිර්මාණාත්මක බවින් යුතු මානව සම්පතක් ගොඩනැඟීමට ඉවහල් වන ඉතා සුන්දර, ආකර්ෂණීය සිත්ගන්නාසුලු අධ්‍යාපන රටාවක් රටේ ඇති කළ යුතුයි. එය නවීන ලෝකය හා සහසම්බන්ධ විය යුතුයි. එවැනි පහසුකම් සහිත පූර්වකාලීන දුර දැක්මක් සහිත හරිත විශ්වවිද්‍යාලයක් රටේ ආරම්භ කළ යුතුයි යන සිතුවිල්ල මීට වසර 08කට පෙර ඇති වුණා. එම සිතුවිල්ලට ඊටත් එහා ගිය අතීතයක් තිබෙනවා.
කෙසේ නමුත් අපේ රටේ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව පාසල් හැර යන දුවා දරුවන්ට ආශාවෙන් තමන් කැමති ලෙස සිතැඟි පරිදි හිමිකර දීමට ප්‍රියමනාප විශ්වවිද්‍යාල අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කළ යුතුව තිබුණා. මේ සඳහා නිදහස්, ප්‍රියජනක උසස් අධ්‍යාපන පරිසරයක් සහිත නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සුදුසු බිම්කඩක් සොයා බැලුවා. මේ හෝමාගම, පිටිපන, මාහේනවත්ත කදිම තෝතැන්නක් වුණා. එය මීට වසර 8කට පෙර පැරණි ගමක්. ගහකොළ සතාසිවුපාවුන් විසූ නිසි ලෙස සම්පත්වලින් ප්‍රයෝජනයක් නොලැබූ බිමක්. නමුත් එම බිම මේ වන විට ලොව පිළිගත් හරිත විශ්වවිද්‍යාලයක් බිහි වූ දැනුම, කුසලතා ආකල්ප සංවර්ධනය කරන පුණ්‍ය භූමියක් බවට පත්කොට හමාරයි. එලෙස ගොඩනැඟූ NSBM හරිත විශ්වවිද්‍යාලයේ ආ ගමන් මඟ කෙටියි. යා යුතු මඟ ඉතා දුරයි. මෙලෙස ඉතා සැලසුම්සහගත ඉලක්කගත අරමුණු, තිරසර කර ගන්නා දැක්ම වැඩපිළිවෙළ, ක්‍රමෝපාය සහිතව මේ විශ්වවිද්‍යාලය බිහි කිරීමට මුල්ගල තබා ඊට අඩිතාලම දැමූ ඊට පුංචි හෝ උදව්වක් කළ සියලුදෙනා මේ මොහොතේ ඉතා ගෞරවයෙන්, ආදරයෙන් සිහිපත් කිරීමට කැමතියි. එමෙන්ම ඔවුන් කළා වූ එම සේවය ඇගැයීමට මෙය අවස්ථාවක් කර ගන්න ඕනෑ.
NSBM හරිත විශ්වවිද්‍යාලය ආරම්භ වූ ආකාරය, එම සංකල්පය පිළිබඳ පැහැදිලි කළ හැකිද?
ඉතා දුෂ්කර හා අභියෝග රාශියක් මැද එදා ඉතා කුඩා බීජයක්ව පැළ කෙරුණු NSBM හරිත විශ්වවිද්‍යාලය, අද දවසේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෘක්ෂයක් බවට පත්වී සිටින බව කීවද එහි වරදක් නැහැ. මෙය සියයට සියයක්ම රජය සතු ආයතනයක්. ශ්‍රී ලාංකේය ජාතිය සතු වස්තුවක්. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි රජය පිළිගන්නා මෙය මුළුමනින්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බව කිව යුතුයි.
මේ වන විට අප ජන සමාජයේ NSBM හරිත විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයකැයි යන මතයක් පැතිර ගොස් ඇතැයි ඇතැමෙකු කියනවා. නමුත් එම මතය සාවද්‍යක්, එය මුසාවක්, බොරුවක්. අප විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම රජය සතු ජාතික විශ්වවිද්‍යාලයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලය හා මේ NSBM හරිත විශ්වවිද්‍යාලය අතර වෙනස්කම් කිහිපයක් පවතිනවා. එනම් මෙහි ඉගෙනුම ලබන දූ දරු දැරියන්ට විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගැනීමට ඇතුළත් වූ දිනය දාම උපාධිය ලබා දෙන දිනය හරියාකාරවම දන්වා සිටීම එක් කරුණක්. දෙවැන්න විද්‍යාර්ථයින්ට තම දැනුම, කුසලතා ඔප්නංවා ගැනීමට බාහිර ක්‍රියාකාරකම් සිදු කිරීමට, එකට එකතු වීමට විවිධ වේදිකා ගොඩනඟා තිබීමයි. එවැනි සාමූහිකව ක්‍රියා කිරීමට නිර්මාණය කර ඇති සමාජ 50කට වඩා මෙහි තිබෙනවා. ඒවා අතර ක්‍රීඩා, ආගමික, සමාජ සේවා ආදී ප්‍රබල ක්‍රියාකාරකම්වලට ඉඩකඩ ලබා දෙන සමාජ මුල් වෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් යම් යම් දේශපාලන පක්ෂ, දේශපාලන අදහස් උදහස්වලට මුල්තැන ලබා දෙන ශිෂ්‍ය ව්‍යාපාර, සංගම් බිහි කිරීමට ඉඩක් නොමැතිකමයි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයද දේශපාලන මති මතාන්තර නියෝජනය කරන වෘත්තීය ක්‍රියාකාරකම්වලට ප්‍රවේශ නොවී සිටීමට වග බලාගෙන සිටිනවා. මෙහි ශිෂ්‍ය ප්‍රජාව හා සියලු දෙනාට ඉතා ඉහළ සුබසාධනයක් තිබෙනවා.
මෙම විශ්වවිද්‍යාලය බිහි වූයේ මුළුමනින්ම ගම්මානයක සුවඳ විඳගෙනයි. විශ්වවිද්‍යාලය අදියර දෙකක් යටතේ ගොඩනැඟී තිබෙනවා. පළමු අදියර ලෙස අක්කර 27ක භූමිභාගයක් ද, දෙවැනි අදියර ලෙස අක්කර 17ක් ද සංවර්ධනය කර හා සංවර්ධනය කෙරෙමින් පවතිනවා.
මෙම විශ්වවිද්‍යාලය බිහි කිරීම ආරම්භ කරමින් මුල්ගල තැබූ දිනය දා වන විට පළමු අදියරේ භූමියට ගෙවිය යුතු මුළු මුදල් ප්‍රමාණයම ගෙවා ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. එදා අක්කරයකට රුපියල් මිලියන 5.6ක් ගෙවූ අතර, දෙවැනි අදියරේ බිම් ලබා ගැනීමට අක්කරයකට රුපියල් මිලියන 19.4ක් ගෙවීමට සිදු වුණා. මේ විශ්වවිද්‍යාලය ගොඩනැඟීමට බැංකුවෙන් රුපියල් බිලියන 8.6ක ණය මුදලක් ලබා ගැනුණා. වසර 4ක ආපසු ගෙවීමේ සහන කාලයක් සහිතව ලබා ගත් එම ණය මුදල යොදා ගෙන දින 1000කදී මෙය ගොඩනඟා තිබෙනවා. මුල් වසර 4ක කාලයේදී ණය මුදල වෙනුවෙන් ණය වාරික නොගෙවුවද ඒ සඳහා ගණන් බැලූ පොලී මුදල් ගෙවීමට අපට සිදු වුණා. ඒ අනුව මාසයකට රුපියල් මිලියන 150 – 175 අතර ණය වාරික හා පොලී මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදු වුණා. කිසිදු ණය වාරිකයක් හෝ පොලී මුදලක් හෝ නොගෙවා පැහැර හැර නැහැ.
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 300කට කිට්ටුයි. කිසිදු කෙනෙකු තම රාජකාරිය ඉටු කිරීමේදී දෙවෙනියා නොවී සැවොම පළමු වැනියා ලෙස සිතා කටයුතු කිරීම මෙහි ඇති සාර්ථකත්වයේ රහසයි. විශ්වවිද්‍යාලයේ පරිපාලන වියදම්, නඩත්තු වියදම්, බැංකු ණය හා වාරික හා පොලී ගෙවීම් ඉතා ඉහළ මට්ටමින් සිදු කොට ඉතිරි මුදල් ඉතා විධිමත් හා විනිවිද පෙනෙන ආකාරයෙන් භාවිත කරමින් මනා මූල්‍ය විනයක් මේ ආයතනය පවත්වාගෙන යනු ලබනවා. ඒ නිසා වරින් වර වසරින් වසර මූල්‍ය පරිපාලනය, ආයතනික පරිපාලනය, ඇගැයීම්වලට ලක් වී තිබෙනවා. විවිධ ආයතන සංවිධාන අපට විශේෂ සහතික, ඇගැයීම් සම්මාන ලබා දී තිබෙනවා.
රජයේ විගණන දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් මෙහි ස්ථාපිත කොට තියෙනවා. ඔවුන් අපගේ මූල්‍ය පරිපාලනය ගැන නිරන්තරයෙන්ම සොයා බලනවායි. එමෙන්ම හරිත විශ්වවිද්‍යාල නගර සංකල්පය මත මෙහි දූ දරු දැරියන්ට අවශ්‍ය නගරයක ඇති සියලු පහසුකම් මෙහි ස්ථාපිතයි.
විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන්ට නේවාසික පහසුකම් මුල් වසරේ ශිෂ්‍යාවන්ට නේවාසිකාගාර පහසුකම් හා අනෙකුත් වෛද්‍ය වෙෙළඳ, රූපලාවණ්‍ය ඇතුළු මූලික පහසුකම් සඳහා පහසුකම් ගොඩනංවා තියෙනවා. ආරක්ෂාව ඉතා සුවිශේෂීකොට සලසා නවීණ තාක්ෂණය හා බැඳුණු ක්‍රමෝපාය සහිතව ගොඩනැඟූ ක්‍රමවේදයක්, වැඩපිළිවෙළක් ඔස්සේ සහිතක කොට තිබෙනවා. කිසිවෙකුට හොර බොරු කිරීමට ඉඩක් තබා නැහැ.
ලෝකයේ ඕනෑම විශ්වවිද්‍යාලයක සාර්ථකත්වයේ රහස පර්යේෂණ හා නව නිපැයුම්වලට දක්වන සැලකිල්ල හා ප්‍රමුඛත්වය මත රැඳී පවතිනවා. ඒ අනුව NSBM හරිත විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා නව නිපැයුම්වලට විශාල මුදලක්, වැඩි අවධානයක් යොමු කොට තිබෙනවා.
අකාර්යක්ෂමතාව අපිළිවෙළ දුරලීමට මෙම විශ්වවිද්‍යාල සංකල්පය ඔස්සේ හැකියාව තිබෙනවා නේද?
අකාර්යක්ෂමතාවය, අපිළිවෙළ දුරු කර කාර්යක්ෂමතාව, විධිමත් බව, පිළිගත් ක්‍රමවේද, පිරිසිදුකම, සුපිළිවෙළ මෙහි දියුණුවේ රහසයි. රටට, ලෝකයට ඵලදායි දැනුම කුසලතාව, හැකියාව සහිත නව ලොව දැනුමින් යුතු විද්‍යාර්ථයින් බිහි කිරීමට මෙය මුල් වී තිබෙනවා. නිරන්තරයෙන්ම ප්‍රමිතිය, ලොව පිළිගත් ඉහළ කළමනාකාර ක්‍රමවේද මෙහි ක්‍රියාවට නංවා තිබෙනවා.
මෙම විශ්වවිද්‍යාලය බිහි කිරීමේ අරමුණු අතර යමක්කමක් තිබෙන ශ්‍රී ලාංකික ජාතියේ අනාගතය භාර ගැනීමට සිටින දූ දරුවන්ට පිටරට නොයා මෙරටේදීම මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා දීමට ඉඩක් නිර්මාණය කර දීම ප්‍රමුඛ වූ කරුණක් විදියට කියන්න පුළුවන්.
උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ජාතික විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට තරගකාරී අධ්‍යාපනයක් සහිත විභාග ක්‍රමයෙන් නොහැකි වන දූ දරුවන් විශාල පිරිසක් රටේ සිටිනවා.
අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් ජාතික විශ්වවිද්‍යාලවලින් ඉගෙනුම ලැබීමට වරම් නොලබන දැයේ දූ දරුවන්ට මුදල් ගෙවා උපාධි ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මේ හිඩැස පිරවීමට රටක් ලෙස අපට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. එය සම්පූර්ණ කිරීමට මෙම NSBM හරිත විශ්වවිද්‍යාලය ආරම්භ කළා.
කොරෝනා සමයේ අපේ රටේ දූ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට පිටරටවලට යෑමට නොහැකි වුණා. එම කාල වකවානුවේ අපේ රටේ දරුවෝ මෙහි සිට ලොව පිළිගත් අධ්‍යාපනයක් ලැබුවා. දැනට අප විශ්වවිද්‍යාලයේ 13000ක් ඉගෙනුම ලබනවා. ගතවූ වසර 7 තුළ උපාධිධාරීන් 18000ක් බිහි කර තිබෙනවා.
අප රටෙන් පිටරට අධ්‍යාපනය ලැබීමට පිටත්වන දූ දරුවන් වෙනුවෙන් දෙමාපියන් වැය කරන ඩොලර් මිලියන ගණනක් රටේම ඉතිරි කර ගැනීමට මඟ පෑදීම මේ විශ්වවිද්‍යාලයේ අරමුණයි. එමෙන්ම විදේශීය දූ දරුවන් මෙරටට අධ්‍යාපනය ලැබීමට ගෙන්වා ගැනීම මෙහි අරමුණයි. එම අරමුණු දෙකම සාර්ථකව ඉටු කර ගැනීමට මෙහි තවත් සම්පත් වැඩිදියුණු කළ යුතුව තිබෙනවා.
මෙහි ඉදිරියේදී වෛද්‍ය පීඨයක් ස්ථාපිත කරනවා. එහිදී විශේෂයෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටට ගෙන දීමට අපට හැකියාව තිබෙනවා.
මෙම විශ්වවිද්‍යාලය මුළුමනින්ම ශ්‍රී ලාංකේය ජාතිය සතු විශ්වවිද්‍යාලයක්. ඒ නිසා මේ වන විට රුපියල් බිලියන 80කට වඩා වටිනා සම්පතක් ලෙස ගොඩනැඟීම ගැන සතුටුයි.
මෙම විශ්වවිද්‍යාලය පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලයක් නොවෙයි. මෙය රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. මෙය රැකබලා ගැනීම මතු පරපුරට ආරක්ෂාකොට ලබා දීම සැමගේ වගකීමක් ලෙසයි මා විශ්වාස කරන්නේ.