Home » ලංකාවට ඇතුළු වීමට ගිය චීන කාන්තාවක් පිටුවහල් කෙරේ

ලංකාවට ඇතුළු වීමට ගිය චීන කාන්තාවක් පිටුවහල් කෙරේ

by yasara
October 27, 2023 3:13 pm 0 comment

රටින්  පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින්  පනවා ඇති සහ ජාත්‍යන්තර පොලිසියේ සොරා ගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනයෙහි සදහන් 53 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ඊයේ රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කර තිබේ .

ඇය ඊයේ රාත්‍රී 09.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 213 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව ඇය මෙරටට ඇතුළු වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන කවුළුව වෙත පැමිණ ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ .

එහිදී ඇය ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ සොරා ගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනයෙහි ඇතුළත් එකක් බව සනාථ වී තිබේ .

ඉන්පසුව මෙම කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සදහා ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා විසින්  කටුනායක ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Border Surveillance Unit ) නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී   මෙම චීන ජාතික කාන්තාව විසින් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ වෙනත් චීන ජාතික කාන්තාවකට අයත් එකක් බවත් , ඇයගේ එම ගුවන් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී අස්ථාන ගත වී ඇති බවත් , ඉන්පසුව ඇය වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් මෙරටින් ලබා ගෙන සිය සංචාරය නිමා කර පිටවී ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ .

එසේම ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාවගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී , ඒ තුළ තිබී ඇයගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය තිබී සොයා ගෙන තිබේ .

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී මෙම කාන්තාවට රටින්  පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින්  පනවා ඇති බව ද අනාවරණය විය .

ඒ අනුව මෙම චීන ජාතික කාන්තාව අත් අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් , ඇය ආපසු පිටුවහල් කිරීම සදහා ඇය පැමිණි ගුවන් සේවයේ අදාළ ගුවන් යානය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT