Home » වසම් 18ක ATMවලින් කෝටියක් ඇද්ද දෙදෙනා කඩුවෙලදී මාට්ටු

වසම් 18ක ATMවලින් කෝටියක් ඇද්ද දෙදෙනා කඩුවෙලදී මාට්ටු

by mahesh
October 27, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

පොලිස් වසම් 18ක ATM කුටි අසල රැඳී සිටිමින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මුළා කර ඔවුන් සතුව තිබෙන ATM කාඩ්පත් සූක්ෂ්ම ලෙස සොරාගෙන රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ වංචාව සඳහා යොදාගත් ATM කාඩ්පත් 13ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 20කට අධික ප්‍රමාණයක් මෙන්ම යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එම කාඩ්පත් රාජ්‍ය බැංකු 2කට සහ පෞද්ගලික බැංකු 2කට අයත් ඒවා බව පොලිසිය කියයි.

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත කඩුවෙල විහාර මාවතේ විශේෂ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන් චතුරංග මහතා ඇතුළු නිලධාරීන් සැකකරුවන් පැමිණි යතුරුපැදිය නවතා එයට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ පැදිකරු සිය මුදල් පසුම්බිය හැඳ සිටි කලිසම් සාක්කුවෙන් පිටතට ගැනීමේදී ATM කාඩ්පත් කිහිපයක් ඒ සමඟ බිමට වැටීමත් සමඟම අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ නෙත ගැටීමෙන් අනතුරුව ඇති වූ සැකයක් මත පොලිස් නිලධාරීන් ලවා සැකකරුවන් දෙදෙනා එම ස්ථානයේම රඳවාගෙන දැඩි පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී පැදිකරු සන්තකයේ ATM කාඩ්පත් 13ක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 මිලිගෑම් 300ක් හා පසු පැදිකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 5 මිලිගෑම් 600ක් තිබී හමුවූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී බැංකු අසල රැඳී සිටිමින් මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් ATM කුටිය වෙත යන අවස්ථාවේදී ඔහු පිටුපසින් ගොස් මුදල් ලබාගන්නා අයුරින් රැඳී සිට ඔවුන් යන්ත්‍රයේ සටහන් කරන රහස් අංකය කෙරෙහි අවධානය යොමු කර මුදල් ගැනීමෙන් අනතුරුව ඔවුන් අමතා තම කාඩ්පත යන්ත්‍රය තුළ සිර වූ බව පවසමින් ක්ෂණික ඇමතුම් අංශය බලා ගැනීමට යැයි පවසා කාඩ්පත ගෙන තමන් සන්තකයේ තිබෙන කාඩ්පතක් දීම එක් ක්‍රමයක් බවත් අනෙක් ක්‍රමය වයෝවෘද්ධ පුද්ගලයන් කාඩ්පතෙන් මුදල් රැගෙන දෙන ලෙස ඉල්ලා සිටීමේදී එම කාඩ්පත සන්තකයේ තබාගෙන තම කාඩ්පතක් යන්ත්‍රය තුළට දමා සිර වූ බව පවසමින් එම පුද්ගලයා මුළා කිරීම තවත් ක්‍රමයක් බවත් අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බොරලැස්ගමුව දිවුලපිටිය පන්සල පාර පදිංචිකරුවන් දෙදෙනෙකි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. ජයමහ සහකාර පොලිස් අධිකාරී එස්.පී. ඒකනායක මහත්වරුන් උපදෙස් මත කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන් චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT