රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රිදීමාලියද්ද ඇකිරියම්කුඹුර මාර්ගයේ යකහඋල්පොත හෑපොල ඔය හරහා ඉදි කර ඇති සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පෙරේදා (24) නිවාස සහ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
වාර්ෂා සමයට පාලමට උඩින් ජලය දැමීම හේතුවෙන් රිදීමාලියද්ද 9 කණුව මංසන්ධියේ සිට ඇකිරියම්කුඹුර දක්වා දිවෙන මාර්ගයේ යකහඋල්පොත ප්‍රදේශයේ හෑපොල ඔය හරහා ඇති සපත්තු පාලමෙන් මෙම මාර්ගයේ ගමනාගමනයට විශාල බාධාවක් පැවති අතර, මෙම නව පාලම ඉදිකිරීමත් සමඟ එම තත්ත්වය මඟහරවා ගැනීමට හැකියාව පවතී. රිදීමාලියද්ද සිට පෙතියාගෙඩ, දෙහිගම, ඇකිරියම්කුඹුර හරහා පදියතලාව, අම්පාර චෙන්කල්අඩි දක්වා දෛනිකව 2,000කට ආසන්න ප්‍රමාණයක් මෙම මාර්ගය භාවිත කරති.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පාලම සංවර්ධනය කරන අතර, මේ සඳහා නෙදර්ලන්ත ආධාර යටතේ වැය කරන මුදල රුපියල් මිලියන 80කි. දිගින් අඩි 80ක් සහ පළලින් අඩි 30ක් වෙන මෙම නව පාලමේ පහසුවෙන් වාහන දෙකක් එක්වර හුවමාරු වීමට හැකියාව පවතී.
මෙම අවස්ථාවට රිදීමාලියද්ද සහකාර ප්‍රාදේශීය ලේකම් කාංචන සමරකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.