Home » ගෝලීය පාරිසරික හා සමුද්‍රීය සමතුලිතතාව රැකගැනීමට අපේ රට කඩිනමින් සූදානම් විය යුතුයි

ගෝලීය පාරිසරික හා සමුද්‍රීය සමතුලිතතාව රැකගැනීමට අපේ රට කඩිනමින් සූදානම් විය යුතුයි

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

by gayan
October 26, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස Green Hydrogen සහ Green Ammonia භාවිතය නාවික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ලෙස සලකා ගෝලීය පාරිසරික හා සමුද්‍රීය සමතුලිතතාව රැක ගැනීමට ශ්‍රී ලංකාව ද කඩිනමින් සූදානම් විය යුතු බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ 2023 ගෝලීය සමුද්‍ර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ගේ සංගමය විසින් කොළඹදී පැවති විශේෂ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“අද වන විට නාවික ක්ෂේත්‍රයේ හැඩතලය වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. ගතානුගතික පැවති නාවික කර්මාන්තයේ තරගකාරීත්වය, නව නිපැයුම් සහ පරිසරය සුරැකීමේ අවශ්‍යතා යන සංකල්ප මත වර්තමානයට ගැළපෙන අයුරින් වෙනස් වෙනවා. එය මේ ක්ෂේත්‍රයේ තිරසරභාවය රැක ගනිමින් ඉදිරියට ගෙන යෑමට වෙළෙඳ නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්ව ගැඹුරින් තේරුම් ගනිමින් කටයුතු කළ යුතුයි.

2012දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමුද්‍රීය තිරසරභාවය හා සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා නෞකා ගමනාගමනය ඇතුළු ක්ෂේත්‍ර රාශියකට බලපාන ක්‍රියාවලි රාශියක් ක්‍රියාත්මක කිරීමට පදනම ඉදිරිපත් කළා. මේ ක්ෂේත්‍රය වෙනුවෙන් අරමුණු දාහතක් හඳුන්වා දුන්නා. එයින් බලාපොරොත්තු වූයේ සමුද්‍ර පරිසරය රැක ගැනීමත්, සමුද්‍රය ආශ්‍රිතව විවිධ ජීවනෝපායන්හි යෙදෙන ජනතාවට එකී ජීවන වෘත්තීන් පහසුවෙන් කරගෙන යෑමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමත්ය.

මෙහිදී ලෝකයේ ජනගහනයෙන් බිලියන තුනක් පමණ වන ජනතාව මුහුදු ආශ්‍රිතව තම ජීවනෝපායන් සකස් කර ගන්නවා. ලෝකයේ සමස්ත වෙළෙඳාමෙන් සියයට 80ක් සමුද්‍රය උපයෝගී කර ගනිමින් පවතිනවා.

නාවික ක්ෂේත්‍රය පරිසර හිතකාමි බවට පත්කිරීමට Green Hydrogen සහ Green Ammonia පිළිබඳ සංකල්පය අනිවාර්යයෙන් අනාගතයේදී ක්‍රියාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකාවට ද එවැනි ක්‍රියාමාර්ගසඳහා අවතීර්ණ වීමට අභියෝගාත්මක ලෙස අවස්ථාව සැලසී තිබෙනවා. එම අවස්ථාව කිසිසේත් පැහැර හැරිය නොහැකියි. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක් ලෙසත්, නාවික ක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් ලෙසත් සැලකෙන ශ්‍රී ලංකාව නව නිපැයුම් තාක්ෂණය හා කාර්යක්ෂම පරිපාලනයක් සඳහා අනිවාර්යයෙන්ම යාවත්කාලීන කළ යුතුයි.”

මේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු ද, ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයන්ගේ සංගමයේ සභාපති සානෝ සබාර් මහතා ඇතුළු සංගමයේ විධායක සභිකයෝ ද සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT