කැප්පෙටිපොළ නගරයේ රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පරුෂ වචනයෙන් බැණවැදී සාපරාධී බලහත්කාරකම් පෑම සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
හිටපු සභාපතිවරයා මෙම සිදුවීමෙන් පසු කොළඹට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව වැලිමඩ පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
වැලිමඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන් ගුණරත්න (39372) සහ පොලිස් කොස්තාපල් අයින්කරන් (102770) යන නිලධාරීන් දෙදෙනා පෙරේදා (24) කැප්පෙටිපොළ නගරයේ රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් අසල පදිකමාරුව අවහිර වන සේ මෝටර් රථයක් නවතා ඇති අයුරු දැක තිබේ. එම ස්ථානයට ගොස් මෙම නිලධාරීන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී මෝටර් රථය තුළ රියැදුරු නැති බව දැක ඇත.
පදිකමාරුව අවහිර වන සේ මෝටර් රථය නතර කර තබා ගොස් තිබීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් ඒ බව දැනුම්දීමේ පොලිස් දැන්වීම රථයේ ඉදිරිපස වාමුවේ ප්‍රදර්ශනයේ තබා රථ වාහන හැසිරවීමේ රාජකාරියේ ඔවුන් දෙදෙනා නිරතව සිට ඇත.
ඊට සුළු මොහොතකට පසු මෙම නිලධාරීන් අසලට පැමිණ ඇති වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවැදී ඇත්තේ පදිකමාරුව අවහිර වන සේ නතර කර තිබෙන මෝටර් රථය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි. එම අවස්ථාව වන විට හිටපු සභාපතිවරයා බීමතින් සිටි බව එම නිලධාරීහු පවසති.
අදාළ රථය බැංකු කළමනාකරුගේ යැයි පවසමින් සභාපතිවරයා පොලිස් නිලධාරීන් හමුවේ බැණ වැදී ඇත්තේ ඉතා පහත් ආකාරයට බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙසේ පොලිස් නිලධාරීන්ට හිටපු සභාපතිවරයා බැණ වදිමින් සිටියදී එම ස්ථානයට මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස් රැස්වන විට සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව ද පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ