සිය නිල ඇඳුමින් සැරසී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රාජකාරි කරමින් සිටින අතරතුර අපරාධ නඩු රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින විත්තිකරුවකු සමඟ නිධානයකින් ලබා ගත් බව කියන බුදුපිළිමයක් රැගෙන ඒමට මැදිරිගිරිය ප්‍රදේශයට ගිය බව කියන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන්
විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාට නියෝග කළේය.
උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා තමාට ලබා දුන් මෙම නියෝගයට අනුව අදාළ විමර්ශනය සිදු කිරීම පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා විසින් පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා මහතාට පවරනු ලැබීය.
මෙම පොලිස් පරීක්ෂකවරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රාජකාරි කරමින් සිටින අතරවාරයේ අපරාධවලට අදාළව අධිකරණය හමුවේ පවතින නඩු කිහිපයක විත්තිකරුවකු සමඟ වෑන් රථයකින් මැදිරිගිරිය ප්‍රදේශයට යෑමට පිටත්ව පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙසට ගොස් නිල ඇඳුම් ඉවත් කර සිවිල් ඇඳුමකින් සැරසී නැවත මැදිරිගිරිය ප්‍රදේශයට යෑමට පිටත්ව තිබේ.
එම අවස්ථාවේ අදාළ වෑන් රථයේ බුදුපිළිමයේ අයිතිකරු බව කියන පුද්ගලයා ද සිට ඇත. නිල ඇඳුමින් සැරසී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රාජකාරි කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයකු වෑන් රථයට නැඟ ඔහුගේ නිවෙසට ගොස් නිල ඇඳුම් මාරු කර සිවිල් ඇඳුමකින් සැරසී නැවත පැමිණීම පිළිබඳ සැක සිතා ඇති බුදුපිළිමයේ අයිතිකරු අනුරාධපුරයේ සිට මැදිරිගිරියට යන අතරතුර වෑන් රථය හබරණ පොලිස් ස්ථානයට ඇතුළු කර තිබේ.
එම අවස්ථාවේ හබරණ පොලිස් ස්ථානයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී පොලිස් පරීක්ෂකවරයා සහ ඔහු සමඟ ගිය අපරාධකරු වෑන් රථයෙන් පැන දිව ගොස් ඇත. එසේ දිව ගොස් ඇති අපරාධකරු සහ පොලිස් පරීක්ෂකවරයා ත්‍රිරෝද රථයකින් නැවත අනුරාධපුරයට පැමිණ තිබේ. එසේ අනුරාධපුරයට යළි පැමිණ ඇති පොලිස් පරීක්ෂකවරයා සිය නිවෙසට ගොස් සිවිල් ඇඳුම ඉවත් කොට යළිත් නිල ඇඳුම් ඇඳගෙන පෙර සිටි ආකාරයෙන්ම අනුරාධපුර පොලිසියේ රාජකාරියට පැමිණ තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතාට එදිනම තොරතුරු ලැබී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිද්ධිය පිළිබඳ වහාම විමර්ශනයක් සිදු කර අදාළ විමර්ශන වාර්තාව තමන්ට ලබා දෙන ලෙස පොලොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාට නියෝග කොට තිබේ.
අනුරාධපුර උපාලි ආනන්ද කරුණාදාස