Home » ශ්‍රී ලංකා පිලේ ‘වයිඩ් පන්දු’ ආබාධය පුහුණු සැසියේදී විශේෂ අවධානයට
හදිසියේම ඉවත්ව ගිය මහේල යළි එක් වෙයි

ශ්‍රී ලංකා පිලේ ‘වයිඩ් පන්දු’ ආබාධය පුහුණු සැසියේදී විශේෂ අවධානයට

නිමා වූ තරග හතරේදී අතිරේක ලකුණු 85ක්: වයිඩ් පන්දු 75ක් යවලා

by mahesh
October 25, 2023 1:03 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
නව එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්ට විශේ­ෂඥ පුහු­ණු­කරු මහේල ජය­ව­ර්ධන මහ­තා­ගෙන් උප­දෙ­සක්.

ශ්‍රී ලංකා පිලෙන් හදිසියේම ඉවත්ව ගිය විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන මහතා යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ එක්ව ඊයේ පුහුණුවීම්වලදී උපදෙස් දෙමින් කටයුතු කළේය. මහේල ඔස්ට්‍රේලියාව සමඟ තරගයෙන් පසු කිසිදු හේතුවක් ප්‍රකාශ නොකොට හදිසියේම ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය හෙයින් ශ්‍රී ලංකාව ජයගත් නෙදර්ලන්ත තරගයේදී කණ්ඩායම සමඟ කටයුතු නොකළේය.

චින්නස්වාමී ක්‍රීඩාංගණයේ හෙට (26) පැවැත්වෙන ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වයට සිදුව ඇත. ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයෙන් අනතුරුව පැවති පුහුණු සැසිවලදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් පමණක් නොව දඟ පන්දු යවන්නන් පවා වයිඩ් පන්දු වැඩි වශයෙන් යොමු කිරීමේ තත්ත්වය සමාලෝචනය කරමින් එයට නිසි විසඳුම් සෙවීම පන්දු යැවීමේ පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායම් කළමනාකාරීත්වයේ විශේෂ රාජකාරියක් වී ඇත.

මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිල අතිරේක ලකුණු වැඩි වශයෙන් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ලබා දීමේ කැපී පෙනෙන තත්ත්වයක සිටින අතර, පසුගිය 21 වැනිදා පැවති නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පමණක් අතිරේක ලකුණු 33ක් ලබා දුන්නේය. එයින් වයිඩ් පන්දු 26ක් යොමු කිරීමෙන්, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් ඉනිමකදී යවන ලද වැඩිම වයිඩ් පන්දු ගණන සටහන් විය.

දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී වයිඩ් පන්දු 21ක් සමඟ අතිරේක ලකුණු 23ක්, පාකිස්තානය සමඟ තරගයේදී වයිඩ් පන්දු 25ක් සමඟ අතිරේක ලකුණු 26ක් හා ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී වයිඩ් පන්දු 3ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් යවා තිබිණි.

එබැවින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග හතරේදී අතිරේක ලකුණු 85ක් ලබා දී ඇති අතර, එයින් වයිඩ් පන්දු 75ක් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ප්‍රතිවාදීන්ට ලබා දුන්හ. එය ඕවර් 12.5ක් ප්‍රතිවාදීන්ට නොමිලේම ප්‍රදානය කිරීමකි. වයිඩ් පන්දු යොමු කිරීමෙන් අතිරේක ලකුණු වාගේම අමතර පන්දු ගණනක් ප්‍රතිවාදීන්ට ලබා දීමෙන් ඇතිවන අවාසිය ඉදිරි තරගවලදී නැති කර ගැනීමට ශ්‍රී ලංකා පිල අසමත් වුවහොත් අනවශ්‍ය පරිදි විශාල අමාරුවක වැටෙනු ඇතැයි ක්‍රිකට් විචාරක මතය වී තිබේ.

බැංගලෝරු එම්. චින්නස්වාමී ක්‍රීඩාංගණයේ ඊයේ ශ්‍රී ලංකා පිල පුහුණුවීම් සිදු කළ අතර, එහිදී හිටපු නායක දසුන් ශානක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හා දුෂ්මන්ත චමීර පුහුණු කටයුතුවල නිරත වී සිටියහ. දසුන් ශානක ආබාධයෙන් පසු මෙයට පෙර පිතිකරණ පුහුණුවීමේ යෙදුණු අතර, ඊයේ දිනයේ පන්දු යැවීමේ පුහුණුවීම්වලද නිරතවීම විශේෂත්වයක් විය. පාදයේ කලව ප්‍රදේශයේ මස්පිඩු ආබාධයක් හේතුවෙන් දසුන්ට දිවීමේ අපහසුතා ඇති බව පැවසුවද දැන් එය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති ආකාරය දක්නට ලැබිණි. ශ්‍රී ලංකා පිලේ ස්ථානයක් අපේක්ෂාවෙන් සිටින ඇන්ජලෝ මැතිව්ස් හා වේග පන්දු යවන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල නිරත වෙමින් සිටියහ.

ඊයේ පැවති පුහුණුවීම් අතරතුරදී ශ්‍රී ලකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ප්‍රකාශ කළේ අලුතින් කණ්ඩායමට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ඉතා හොඳ ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බවයි. “ඇන්ජලෝ හොඳ තත්ත්වයක ඉන්නවා. ඔහුට ඉදිරි තරගයේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තියෙනවාද කියා දැන්ම කියන්න අපහසුයි. නමුත් ඔහු ක්‍රීඩාවට ඉතා හොඳ යෝග්‍ය තත්ත්වයකින් හා සූදානමකින් සිටින බව කියන්න පුළුවන්” සිල්වර්වුඩ් මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT