Home » පාකිස්තානයෙන් පිටුවහල් කරන ඇෆ්ගන් ජාතිකයන්ට ඊබ්‍රාහිම් සද්‍රාන් තරගයේ වීරයා සම්මානය කැප කරයි

පාකිස්තානයෙන් පිටුවහල් කරන ඇෆ්ගන් ජාතිකයන්ට ඊබ්‍රාහිම් සද්‍රාන් තරගයේ වීරයා සම්මානය කැප කරයි

by mahesh
October 25, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

පාකිස්තානය පරාජය කොට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු ඊබ්‍රාහිම් සද්‍රාන් එම සම්මානය පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයට පිටුවහල් කරන පුද්ගලයන් වෙනුවෙන් කැප කරන බව පවසයි.

ලබන නොවැම්බර් මස 1 වනදා වන විට පාකිස්තානයේ වෙසෙන අනවසර ඇෆ්ගන් සරණාගතයන් ලක්ෂ 17කට පමණ වහාම පිටත්වන ලෙස පාකිස්තානය කරන ලද දැනුම්දීම සම්බන්ධයෙන් ඊබ්‍රාහිම් සද්‍රාන් සිය කනගාටුව මෙන්ම පාකිස්තාන රජයේ මේ පියවරට විරෝධය පළ කරමින් මෙම පියවර ගෙන තිබේ.

චෙන්නායි චෙපොක් එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී පාකිස්තානය පරාජය කරමින් ඇෆ්ගනිස්තානය ඉතිහාසගත ජයග්‍රහණයක් ලැබූ අතර, එහිදී ලකුණු 87ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය ඊබ්‍රහිම් සද්‍රාන් හිමි කර ගත්තේය. ඇෆ්ගනිස්තානය පාකිස්තානයට එරෙහිව එක්දින තරගයකදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය වූ අතර, තරගයෙන් අනතුරුව හෙතෙම පැවසුවේ මේ සම්මානය තම රටේ ජනතාවට මෙන්ම පකිස්තානයෙන් නෙරපා හරින ඇෆ්ගන් ජාතිකයන් වෙනුවෙන් කැප කරන බවය.

“තරගයේ වීරයා සම්මානය පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයට ආපසු යවන ලද අයට පිරිනැමීමට මට අවශ්‍යයි” යනුවෙන් සද්‍රාන් පැවසීය.

තරගයේ වීරයා සම්මානය දිනූ සද්‍රාන් පකිස්තානය ගැන කළ මේ ප්‍රකාශය සමාජ මාධ්‍යවල විශාල ලෙස වයිරල් වෙමින් පවතී. දැනටමත් ලේඛනගත නොකළ සරණාගතයන් නෙරපා හැරීමේ කාලසීමාව පාකිස්තානය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, අනවසර සරණාගතයන් 50,000කට වැඩි ප්‍රමාණයක් පාකිස්තානයේ සිට නැවත ඇෆ්ගනිස්තානයට යවා ඇත. ඇෆ්ගනිස්තානය පාලනය කරන තලේබාන් සංවිධානය ද මෙය දැඩි ලෙස විවේචනය කළ අතර, එය පිළිගත නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය. මෙයට පෙර ඇෆ්ගනිස්තානය විසින් එංගලන්තය පරාජය කිරීමට ද සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT