චීනයේ දී පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ නිමා වූයේ ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් වසර 21කට පසුව රන් පදක්කමක් හිමිවීම සහ වසර 17කට පසුව මලල ක්‍රීඩා පදක්කම් දිනා ගැනීමත් සමඟිනි.මේ ක්‍රීඩා උලෙළේ පසු විපරම සහ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීමේ උත්සවයක් පෙරේදා ජාතික ඔලිම්පික් නිවහනේ දී පැවති අතර, එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා උලෙළට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී නිශාන්ත පියසේන මහතා පැවසුවේ මෙවර ජයග්‍රහණයන්ට හේතු වූයේ පෙර සූදානම මෙන්ම සැලසුමකට අනුව කටයුතු කිරීම බවයි.
“අපිට අභියෝග ජය ගැනීමට සහ පදක්කම් දිනා ගැනීමට හැකි වූයේ පෙර සූදානම නිසයි. අපි මාස දෙකකට පෙර මැක්ස්වෙල් මහතාගේ මඟ පෙන්වීම යටතේ වෛද්‍ය කණ්ඩායම එක් එක් ක්‍රීඩකයන් හමුවෙලා ඔවුන්ගේ අඩුපාඩු ලැබුවා. ඒ ආබාධ වේලාසනින් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමත් එක හේතුවක්. අපිට ලොකුම හයිය වුණේ යම් කිසි මට්ටමකින් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව මෙයට එක් කිරීමයි.” “මැක්වෙල් ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කර සහාය දිවීමේ කණ්ඩායම වේලාසනින් චීනයට යැවීමත් අපට වාසියක් වුණා. මෙවර හමු වූ කණ්ඩායමේ මිත්‍රත්වය, එකමුතුව මේ කාර්යයට පහසුවක් වුණා.” යැයි පැවසූ පියසේන මහතා මෙලෙස ඉදිරි ක්‍රීඩා උලෙළවලදීත් කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ කරා යෑමට හැකි වනු ඇතැයි කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසුවේ කාන්තා සහාය දිවීමේ කණ්ඩායම මේ තරගාවලියට එක් නොකරන ලෙස ඇතමුන් පැවසුව ද ඔවුන්ට යමක් කළ හැකි යැයි පෙනුණ බැවින් එම කණ්ඩායම ඉදිරිපත් කළ බවයි.
එමෙන්ම ඉදිරි වසර හතරේදී හොඳ සැලැස්මක් ඇතිව කටයුතු කළ හොත් මීට වඩා ඉදිරියට යා හැකි බවත් කියා සිටියේය. අනෙකුත් ක්‍රීඩා ද පැහැදිලි දැක්මකින් වැඩ කළ යුතු බවද ඔහු කියා සිටියේය. ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයන් ටික දිනකින් අමතක කරන දමන බවත් වැටුණු විට ඔවුන් නැගිට්ටවීමට කිසිවකුන් නැති බවත් කී ඒ මහතා ඔලිම්පික් කමිටුව ජාතික සංගම් සමඟ එක්ව මේ ක්‍රීඩකයන් ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවත්, පුහුණුකරුවන්ගේ කුසලතා සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
ජාතික ක්‍රීඩා අරමුදල සඳහා ජාතික ඔලිම්පික් කමිටුව මඟින් රුපියල් මිලියනයක මුදලක් පිරිනැමීම ද මෙහිදී සිදු විය.