මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ බවට වරද පිළිගත් විත්තිකරුවන් අට දෙනෙකු පැය පනහක කාලයක් අධිකරණ භූමිය පිරිසිදු කිරීමේ ප්‍රජා සේවයේ යොදවන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (24) පස්වරුවේ නියෝග කළේය.
කේ ඒ සමන්ත කුරුප්පු ආරච්චි, ඇම් සුසන්ත, පී ප්‍රභාත් ඉන්දුල, එච් ඒ පුෂ්පකුමාර, ජේ පී විජේරත්න, ජේ ඒ නිලන්ත සිසිර කුමාර, ඒ ඒ චන්දන ප්‍රියදර්ශන හා එච් පී රුවන් සඳසිරි යන අට දෙනෙකු එසේ ප්‍රජා සේවයේ යෙදවීමට නියෝග කැරිණි. වේයන්ගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ සූදු පොළක් වටලා එහි මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි විත්තිකරුවන් අට දෙනා අත් අඩංගුවට ගෙන නඩු පවරා තිබුණි. විත්තිකරුවන් අට දෙනා ලබන ජනවාරි මස 09 වනදා දක්වා තෝරා ගත් දිනවලදී පැය පනහක් සම්පූර්ණ වන පරිදි අත්තනගල්ල ප්‍රජා විශෝධන කාර්යාලයේ අධීක්ෂණය යටතේ අධිකරණ භූමිය පිරිසිදු කිරීමේ ප්‍රජා සේවයේ යෙදවීමට එසේ නියෝග කැරිණි. වේයන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා පැමිණිල්ල මෙහෙය විය.