වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැතිව පුද්ගලයෙක් තමන් පදවමින් සිටි බස් රථය මගීන්ද සමඟ මාර්ගයේ පසෙක නතර කර තබා රථය පනගන්වා තිබියදීම රියදුරු අසුනින් බැස ගොස් හෙරෝයින් පානය කරද්දී රථවාහන ස්ථානාධිපතිට කොටු වීමේ පුවතක් මීගහවත්ත පොලිස් වසමෙන් වාර්තාවේ.
මාර්ග අංක 224 පූගොඩ කොළඹ පුද්ගලික බස් රථයක් ඉකුත් 22 දා පෙරවරුවේ දෙල්ගොඩ නගරයේ දෙල්ගොඩ පූගොඩ ප්‍රධාන මාර්ගයේ බස් නැවතුම අසල නතර කර තිබූ අයුරු සහ රියදුරු නොමැතිව මගීන් සමඟ පනගන්වා තිබීම පිළිබඳව නගරයේ රථවාහන රාජකාරි කරමින් සිටි මීගහවත්ත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති වරයා දැක ඇත. ඒ පිළිබඳව විමසිලිමත් වූ ස්ථානාධිපති වරයා බස් රථය අසලට පැමිණ සොයා බැලීමේදී වෙනතක සිටි එහි රියදුරු දිව විත් තමා වැසිකිළියට ගිය බව ස්ථානාධිපති වරයාට පවසා ඇත. නමුත් රියදුරුගේ ඉරියව් හා හැසිරීම මත් කුඩු පානය කරන්නකුගේ සේ වීම පිළිබඳව සැක සිතු ස්ථානාධිපතිවරයා මගීන් බස්සවා රියදුරු සහ බස් රථය අත්අඩංගුවට ගෙන ඇත.
පසුව කළ සොයාබැලීමේ දී සැකකරුට රියදුරු බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි. එදිනම අදාළ රියදුරු රාගම මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි දුල් ශ්‍රී අප්පුහාමි මහතා වෙත ඉදිරිපත් කර සිදු කළ පරීක්ෂණයේ දී සැකකරු මත් කුඩු පානය කර තිබීම පිළිබඳව වෛද්‍ය වාර්තා මගින් සනාථ වූ බව පොලිසිය පවසයි. මගී ජීවිත ගනණාවක වගකීම අතහැර විකෘති මනසින් රියදුරු බලපත්‍රයක් පවා නොමැතිව බස් රථයක් ධාවනය කිරීම තවත් විශාල අනතුරකට අතවැනීමක් බව ස්ථානාධිපතිවරයා මෙහිදී පැවසීය.
අදාළ රියදුරා මහර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය කියයි. මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. කේ. විජේතිලක මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක පොලිස් සැරයන් (38378) ඒකනායක , පොලිස් කොස්තාපල් වරුන් වන (32797) ඉදුනිල් (88758) මනෝජ් (102197) ලක්ෂාන් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.