නීත්‍යනුකූල බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදෙස් ශ්‍රමිකයන් දිරි ගැන්වීම සඳහා රජය ක්‍රියාත්මක කළ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර දීම යටතේ මේ වන විට බලපත්‍ර 318ක් නිකුත් කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
නීත්‍යනුකූල බැංකු ක්‍රමය හරහා රටට මුදල් එවන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට බලපත්‍ර දීම ඇතුළු දිරිදීම් මඟින් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ දමා ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, මේ වැඩසටහන සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බවත්, මෙවැනි දිරිදීම් මඟින් සියයට 75කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, මේ වසරේ මුල් මාස නවයේදී ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4345ක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ ආකාරයට නීත්‍යනුකූල ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ ශ්‍රී ලාංකිකයන්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318 නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන තිස් අටක මුදලක් මෙරටට ලැබී තිබේ.
මෙසේ නිකුත් කරන වාහන ආනයන බලපත්‍රය තීරු බදු රහිත බලපත්‍රයක් නොවන අතර, එය රටේ විදේශ විනිමය අවශ්‍යතාවක් පවතින අවස්ථාවකදී, විදේශ විනිමය රටට ගෙන්වා ගැනීම දිරිමත් කිරීමක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකි. මේ වාහන ආනයනය කරන සියලු දෙනාටම රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරන සම්පූර්ණ තීරු බදු ඇතුළු අනෙකුත් බදු මුදල් ගෙවීමට සිදු වන අතර, එය රාජ්‍ය ආදායමට එක්වේ.
මේ ක්‍රමවේදය ආරම්භ කරන අවස්ථාවේදී වාහන ආනයනකරුවන්ගේ සංගමය ඇතුළු වාහන ආනයන ව්‍යාපාරයට සම්බන්ධ ආයතන සහ සංගම් කැඳවා වැඩසටහන සමඟ එක්වන ලෙසට ආරාධනා කිරීමට ද ඇමැතිවරයා කටයුතු කරනු ලැබීය.