මධ්‍යම පළාත් සභාවට අයත් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවලත් මහනුවර මහ නගර සභාවේත් පසුගිය වසර පහක කාලය තුළ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 700ක පමණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට කළමනාකාර සහකාරවරියක ඇතුළු සිවුදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
අදාළ සිවුදෙනාගේ වැඩ තහනම් කළත් මොවුන්ගේ වැඩ අධීක්ෂණය භාරව සිටි පරිපාලන නිලධාරින් සිය වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙතෙක් සෑහීමකට පත්විය හැකි ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර වගකිව යුතු ඇතැම් නිලධාරීන් මේ වන විට පසුවන්නේ විශ්‍රාම යෑමේ වයසට ආසන්නවය.
මෙම වංචා අනාවරණය වී ප්‍රමාද වීමට අදාළ ආයතනවල පවතින අභ්‍යන්තර පරිපාලනයේ දුර්වලතා, පොත් පත් හා ගිණුම් නිසි පරිදි පවත්වාගෙන නොයෑම ආදි කරුණු ගණනාවක් බලපා තිබෙන බව විගණනයේදී හෙළිව තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් මත පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් මෙම වංචා පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙන අතර එහිදී වැඩ තහනම් කර තිබෙන්නේ ඍජුව මෙම වංචාවන්ට සම්බන්ධ වූ බවට සැක කළ කළමනාකරණ සහකාරවරියකගේ සහ සංවර්ධන නිලධාරිනියන් දෙදෙනකුගේ හා නිලධාරියකුගේ පමණි. අදාළ වංචාවන් වසර පහක පමණ කාලයක් තිස්සේ සිදුව තිබෙන බව පරීක්ෂණ මඟින් හෙළිව ඇත. මෙතරම් විශාල මුදලක් වසර ගණනාවක් තිස්සේ සොරකම් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව ලැබී ඇත්තේ ඔවුන්ගේ සේවය අධීක්ෂණය කිරීමට සිටි පරිපාලන නිලධාරින් තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා බව විගණන අංශ පෙන්වා දී ඇත.