සිය බිරිය හා හත් හැවිරිදි දරුවාට පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර බියගන්වමින් ඔවුන්ව පාගමනින් සහ බස් රථවල නංවාගෙන හිස හැරුණු අතේ රැගෙන යමින් සිටි යුද හමුදා සැරයන්වරයකු හසලක පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (23) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හමුදා සැරයන්වරයා සිය බිරිය හා දරුවා සමඟ පදිංචිව සිට ඇත්තේ දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේය.
හමුදා සැරයන්වරයා පිහියක් පෙන්වා සිය බිරියවත් දරුවාත් බිය ගන්වා දඹුල්ලේ පිහිටි නිවෙසේ සිට හිස හැරුණු අතේ රැගෙන යෑමට පටන්ගෙන ඇත්තේ පසුගිය 22 වැනිදා බව හසලක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
මුලින්ම මෙම සැරයන්වරයා සිය බිරියව සහ දරුවාව රැගෙන ගොස් ඇත්තේ දඹුල්ලේ සිට මහනුවරටය. අනතුරුව මාර්ග කිහිපයකම පා ගමනින් රැගෙන ගොස් පෙරේදා (23) මහනුවර සිට බස් රථයක නංවා හසලකට රැගෙනවිත් තිබේ. එහිදී සැරයන්වරයාගේ බිරිය හසලක පොලිස් මුරපොළේ නිලධාරියකුට මේ ගැන පැවසීමත් සමඟ පිහිය ද සමඟ සැරයන්වරයාව අත්අඩංගුවට ගනිමින් බිරියත් දරුවාත් ඔහුගේ ග්‍රහණයෙන් මුදාගෙන තිබේ.
ඒ වන විට ඔවුන් කිලෝමීටර් 100කට වැඩි දුරක් ගමන් කර තිබෙන බව පෙනී යන බව පොලිසිය කියයි.
විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම සැරයන්වරයා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවය. නුවරඑළියේ පිහිටි හමුදා කඳවුරක සේවයේ නිරතව සිටින මෙම සෙබළා මානසික රෝගී තත්ත්වයට ප්‍රතිකාර පවා ලබාගන්නා අයකු බව අනාවරණය වී ඇත. 38 හැවිරිදි වියේ පසුවන ඔහු මෑතක සිට නිසි ප්‍රතිකාර නොලබා සිටීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව ඇති බව පෙනී යන බව ද පොලිසිය කියයි.
මෙම සැරයන්වරයාව මහියංගණය අධිකරණයට ඉදිරිපත් කර ප්‍රතිකාර සඳහා මානසික රෝහලට යොමු කරන ලෙස ඉල්ලීමක් කරන බව පොලිසිය කියයි.