එක්සත්ව කටයුතු කිරීමෙන් වඩා තිරසර සංවර්ධනයක ප්‍රතිලාභ සහ එක්ව බැඳුණු ලෝකයක් මඟින් දීප්තිමත් අනාගතයක් ගොඩනඟාගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ 15 වැනි ආසියානු කලාපීය පාරිසරික තිරසර ප්‍රවාහන සංසදය සහ පළමු ආසියා පැසිෆික් දුම්රිය සමුළුව මැලේසියාවේදී පැවැත්වෙන අතර සමුළුවේ දෙවැනි දින සැසි වාරය ඊයේ (24) අමතමිනි.
ඇමැතිවරයා එහිදී මෙසේද කීවේය:
“දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් අතර භෞතික සම්බන්ධතා වඩා වර්ධනය කිරීමට වෙළෙඳ සහ ආයෝජන සබඳතා ප්‍රවර්ධනය ප්‍රධාන අංගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ කලාපීය සම්බන්ධතා ප්‍රධාන වශයෙන් දකුණු ආසියාවේ ප්‍රති නැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථානයක් වන කොළඹ ප්‍රධාන වරාය කේන්ද්‍ර කරගනිමින් සිදු වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් කොළඹ වරායේ ධාරිතාව වර්ධනය කිරීම සඳහා, යටිතල පහසුකම් සංවර්ධනයේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. භෞතික යටිතල පහසුකම් සම්බන්ධව සැලකිය යුතු දියුණුවක් ලබා තිබුණද ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ මන්දගාමි බවක් දක්නට ලැබෙනවා. එබැවින් පෞද්ගලික අංශයේද දායකත්වය ගනිමින් රටේ ආයතනික සහ නියාමන ශක්තිමත් කිරීම මඟින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ වඩාත් උපාය මාර්ගික වෙළෙඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් කලාපීය සහයෝගිතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි.
“2024 වසර ශ්‍රී ලංකාවේ විද්යුත් සංචලන වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය හා භාවිතය පුළුල් කිරීමට සමගාමිව විද්යුත් රථ වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමට උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතිනවා. සාම්ප්‍රදායික පොසිල ඉන්ධනවලට වඩා ප්‍රතිලාභ රැසක් හිමි වන විදුලි හා විද්යුත් රථවාහන මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ මඟින් පිරිවැය අවම කිරීම, ඉහළ කාර්යක්ෂමතාව සහ පාරිසරික ශක්‍යතාව වැනි ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා.
විදුලි වාහන ආනයනය කිරීම සහ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද මේ වන විට හිමිව තිබෙනවා. මේ තත්වය තුළ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් විදුලි සංචලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීමට මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින අතර UNESCAP සංවිධානය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය දෙනවා.
“රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව පොදු ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව මේ වන විට මාර්ග, වරාය සහ ගුවන් තොටුපොළ වැනි අංශවල භෞතික – යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.
“මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ කොළඹ වරාය පුළුල් කිරීමයි. එය ශ්‍රී ලංකාවේ වරාය හරහා ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ ප්‍රමාණයෙන් 95%කට අධික ප්‍රමාණයක් හසුරුවන අතර, දකුණු ආසියා කලාපයේ සේවා සැපයීම සඳහා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාරිතාව වර්ධනය කිරීම සඳහාද විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වඩා යහපත් මාර්ග, වරාය සහ ගුවන් තොටුපොළ වැනි යටිතල පහසුකම් ජාලයක් මඟින් ධාවන පිරිවැය සහ ප්‍රමාදයන් අවම කිරීමට හැකියාව ලැබෙනවා. ඒ මඟින් සමස්ත කාර්යක්ෂම ඉහළ නැංවීම සඳහා ආර්ථිකයේ බොහෝ අංශ වෙත විශාල දායකත්වයක් ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. සෑම අංශයකටම වාසිදායක වන සංවර්ධනයක් උදෙසා යටිතල පහසුකම්වල භෞතික සම්බන්ධතාව සහ තාක්ෂණය, ප්‍රමිති, නීති රීති සහ මෙහෙයුම්වල සුමට සබඳතාව අංශ දෙකම වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ මඟින් බාධාවකින් තොරව ප්‍රවාහන ජාල සංවර්ධනය කිරීම මෙන්ම තාක්ෂණික නවෝත්පාදන දිරිමත් කරන්න පුළුවන්.
“ශ්‍රී ලංකාව ප්‍රවාහනය, බලශක්තිය, ජල සම්පත් සහ තොරතුරු තාක්‍ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය උදෙසා කලාපයේ රටවල් සහ සංවිධාන සමඟ ශක්තිමත් සහයෝගිතාවක් සහ පදනමක් ඇති කරගැනීම පිළිබඳ විශේෂ අපේක්ෂාවකින් පසු වනවා. පොදු එකඟතාවෙන් යුතු සහයෝගිතාවෙන්, අපට තවදුරටත් ශක්තිමත් ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනය සඳහා නව මාවතක් විවර කළ හැකියි. ‘විවෘත ගෝලීය ආර්ථිකයක සම්බන්ධතාව‘ යන තේමාවට අනුව, සමෘද්ධිමත් ගෝලීය ආර්ථිකයක් පෝෂණය කිරීමට හවුල්කාර රටවල් අතර යටිතල පහසුකම් සම්බන්ධතාව සහ සහයෝගිතාව තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. සංවාදය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම, විනිවිදභාවය සහතික කිරීම, තිරසර භාවිතයන් ප්‍රවර්ධනය සහ ආයෝජන සහ වෙළෙඳාම සඳහා වඩා උචිත පරිසරයක් නිර්මාණය කිරීම මෙහිදී ඉතා වැදගත්. එක්සත්ව කටයුතු කිරීමෙන් වඩා තිරසර සංවර්ධනයක ප්‍රතිලාභ සහ එක්ව බැඳුණු ලෝකයක් මඟින් දීප්තිමත් අනාගතයක් ගොඩනඟාගත හැකි බව මා විශ්වාස කරනවා.”
ජාත්‍යන්තර දුම්රිය සංගමය, එක්සත් ජාතීන්ගේ ප්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථානය, මැලේසියානු ප්‍රවාහන අමාත්‍යාංශය සහ රජය, ආසියානු සංවර්ධන බැංකුව එක්ව සංවිධාන කරන මේ සමුළුව ලෝකයේ රටවල් රැසක නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මේ මස හෙට (26) දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැත්වේ.