නාවික හමුදාව විසින් දෙවුන්දර සිට දකුණු දෙසින් කීලෝමීටර 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට ඊයේ (24) රැගෙන ආ රුපියල් බිලියන 4.5 (කෝටි 450) අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 219 ග්‍රෑම් 634ක තොගයේ මෙරට ඇණවුම්කරුවන් ලෙස බූස්ස බන්ධනාගරයේ රඳවා සිටින පාතාලයට සම්බන්ධ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාම බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
මීට පෙර අත්අඩංගුවට ගෙන 22 වෙනිදා දෙවුන්දර ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය කිලෝ 200 ග්‍රෑම් 310ක තොගයේද ඇණවුම්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ ඔවුන් වන අතර, අවස්ථා දෙකේදීම අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය මෙරටට රැගෙන ඒමේ කටයුතු පකිස්තානු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධිකරණය කර ඇත්තේ ඩුබායිහී රැඳී සිටින මෙරට ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු ද අනාවරණය වී ඇත.
පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරට දකුණු මුහුදු තීරයට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට පැමිණි බහුදින යාත්‍රාවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය බෝට්ටු දෙකට පටවා ඇති බවද අනාවරණය වී තිබේ. මෙම බෝට්ටු දෙක හැරුණු කොට තවත් බෝට්ටුවකට ද මත්කුඩු කොටසක් පටවා ඇතැයි සැක කරන තොරතුරක් අනාවරණය වි ඇති බැවින් නාවික හමුදාව එම බෝට්ටුව සොයා මෙහෙයුමක් දියත් කර ඇත.
මෙම බෝට්ටු සියල්ලම හෙරොයින් පටවා ගැනීමට ගොස් ඇත්තේ කුඩාවැල්ල ධීවර වරායෙන් බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
ඊයේ (24) ගොඩබිමට රැගෙන පැමිණි බෝට්ටුවේ තිබී ඇත්තේ හෙරොයින් කිලෝ 219කට අධික ප්‍රමාණයකි. පසුගිය 22 වෙනිදා ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ තිබී ඇත්තේ හෙරොයින් කිලෝ 179යි ග්‍රෑම් 14ක් සහ හසීස් කිලෝ 31යි ග්‍රෑම් 296කි.
මෙම බෝට්ටු දෙකේම සැකකරුවන් පස්දෙනා බැගින් සිට ඇති අතර, ඔවුන් 10 දෙනාම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්කුඩු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇත. ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාව යොදවා දෙවුන්දර සිට දකුණු දෙසින් නාවික සැතපුම් 292ක් පමණ (කිලෝමීටර් 540 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් ඊයේ ගොඩබිමට රැගෙන ආ බෝට්ටුව කොටුකරගෙන තිබේ. එහි තිබී ඇත්තේ මුළුමනින්ම හෙරොයින්ය. මෙම බෝට්ටුව කොටුකරගෙන ඇත්තේ පසුගිය 19 වෙනිදාය.
කොළඹ වරායට ඊයේ රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමඟ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාද සහභාගි විය.
ඊයේ (24) උදෑසන අදාළ බහුදින ධීවර යාත්‍රාව කොළඹ වරායට රැගෙනවිත් සිදු කළ පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර නවයක් (09) තුළ පාර්සල් දෙසීයක (200) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 634ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) තිබී ඇත.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 219 ග්‍රෑම් 634 ක පමණ තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 4500 කට අධික වෙතැයි විශ්වාස කරන බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 30ත් 48ත් අතර වන කුඩාවැල්ල, තිස්සමහාරාමය, කෝට්ටගොඩ සහ මාමඩල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 634ක පමණ තොගය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු යොදා ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.
නාවික හමුදාපතිවරයා විසින් මෙම මෙහෙයුම සඳහා දායක වූ ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාවේ නාවිකයින් ඇමතීම එම නෞකාවේදී සිදු කෙරුණු අතර, එහිදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් වැටලීම සඳහා සිදු කළ දායකත්වය සම්බන්ධයෙන් නෞකාවේ නැව් මුළුව වෙත සිය ප්‍රශංසාව පළකිරීමට කටයුතු කෙරිණි.
කුඩු අදිද්දී හසුවූ බහුදින ධීවරයන් 4ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
රුපියල් කෝටි 400ක් වටිනා මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවර ධීවර වරාය ආසන්නයේදී නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බහුදින ධීවරයන් හතරදෙනා මේ මස 28 වන දින තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා විමර්ශන කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (24) එම කාර්යාංශයට අවසර ලබා දුන්නේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම හෙරොයින් තොගයේ මහ මොළකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනය කිරීම අවශ්‍ය බවත් එබැවින් සැකකරුවන් තවදුරටත් සිය භාරයේ රඳවා විමර්ශන කිරීමටත් අවසර ඉල්ලා සිටියේය.
හෙරොයින් කිලෝ 179ක් හා හසීස් කිලෝ 32ක් සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් බවත් මෙහි මූල්‍ය වටිනාකම කෝටි 400ක් බවටද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධිකරණයට කරුණු අනාවරණය කළේය.
මෙම හෙරොයින් තොගය ඉරානය හරහා ශ්‍රී ලංකාවට ලැබී ඇති බවට සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවට ද කාර්යාංශය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. දෙවිනුවර පදිංචි නිහාල් ශාන්ත, ජයලාල් රණතුංග, සයුර දීපන්, ජයන්ත ඉහළගේ යන සැකකරුවන් මෙසේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.