Sunday, April 20, 2025
Home » කුඩු අංජුගේ මෙරට දේපොළ භාරකාර රසල් ස්මිත් ඩුබායිහිදී මාට්ටු
ඩිරාම් ලක්ෂ 40ක් - අයිස් එක්ක

කුඩු අංජුගේ මෙරට දේපොළ භාරකාර රසල් ස්මිත් ඩුබායිහිදී මාට්ටු

by mahesh
October 25, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

ප්‍රංශ අත්අඩංගුවේ සිටින ගොනා කෝවිලේ කුඩු අංජු නමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයකු මෙන්ම දේපොළ භාරකරු ලෙස කටයුතු කළ බව කියන රසල් ස්මිත් නමැත්තා ඩුබායිහිදී එරට පොලිසියට හසු වී තිබේ.

ඩිරාම් ලක්ෂ 40ක් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය.

කුඩු අංජු මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් යොදවා මෙරට මිල දී ගෙන ඇති දෝපොළ රැසක්ම තිබී ඇතැයි පැවසෙන්නේ රසල් ස්මිත්ගේ නමිනි. ප්‍රංශ පොලිසියට හසුවීමත් සමඟ රසල් ස්මිත් එම දේපොළ සියල්ල විකුණා දමා එම මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි ගෙන්වාගෙන ඇති බව බුද්ධි අංශ තොරතුරු සඳහන් කළේය.

අංජුගේ මත්කුඩු ජාවාරම හා බැඳී සිටින්නේ ඇල්ටෝ ධර්මේ සහ ජූඩ් ප්‍රියන්ත යන දෙදෙනාය. ඔවුන් ද සිටින්නේ ඩුබායිවලය. අංජු ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු රසල් ස්මිත් මත්කුඩු ජාවාරමේ අංජුගේ තැන ගැනීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇල්ටෝ ධර්මේ සහ ජූඩ් ප්‍රියන්තගේ සැලසුමකට අනුව රසල් ස්මිත් ඩුබායි පොලිසියට කොටු වී ඇතැයි බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

අංජුට අයත් රසල්ගේ නමින් තිබුණු දේපොළ විකුණා එම මුදල් ඩුබායි වෙත ගෙන්වා ගැනීමෙන් පසු ඒ ගැන අංජු පවා රසල් සමඟ සිට ඇත්තේ වෛරයකින් බව කියැවේ. අංජු විසින් ප්‍රංශයේ සිට ඩුබායි පොලිසියට රසල් නීති විරෝධි ජාවාරම්වලින් මුදල් උපයන බවට ඔත්තුවක් දී ඇති බවත් ඒ අනුව රසල්ගේ එරට ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් පවා විමර්ශනයක් පසුගිය කාලයේ ආරම්භ කර තිබුණු බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය. එම විමර්ශනයට අදාළව රසල්ට එරටින් පිටවීම තහනම් කර තිබී ඇත. අයිස් සහ ඩිරාම් ලක්ෂ 40ක් සමඟ ඔහු කොටු වී ඇත්තේ ද ඒ අතරතුරදීය. මේ සම්බන්ධයෙන් මෙරට පොලිස් විමර්ශකයන් කිහිපදෙනකුගෙන් කළ විමසුමකදී ඔවුන් සඳහන් කරනු ලැබුවේ රසල්ට එරෙහිව රතු නිවේදන පවා නැති බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT