මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
අවසන්වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ. මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නොවැම්බර් 2 වැනිදා ‘නාම් 200’ (අපි 200) නමින් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වීමට නියමිතයි. ඉන්දියාවේ සිට ද ආරාධිතයන් පිරිසක් මේ සඳහා පැමිණීමට නියමිතයි. මෙහිදී කඳුකර ජනතාව ජාතියට සිදු කළ මෙහෙවර ඇගයීමට ලක් කෙරෙනවා. ඒ වගේම කඳුකර ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීම අරමුණු කර ගනිමින් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක සක්‍රියව නියැළී සිටිනවා.
පුළුල් පරාසයක පැතිර පවතින ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය තුළ වතුකරයට විශේෂිත වූ කමිටු හතක් ඇතුළත් ප්‍රඥප්තියක් ද හඳුන්වාදී තිබෙනවා. මෙම කමිටු ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහ ළමුන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
අදාළ ප්‍රඥප්තිය මගින් සියලු අමාත්‍යාංශ සඳහා පුළුල් මාර්ගෝපදේශයක් සපයනවා. එමඟින් කඳුකර ප්‍රජාවගේ සුවිශේෂී ගැටලු විසඳීමටත් ඔවුන් ශ්‍රී ලාංකීය සමාජයට නැවත ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමටත් නියමිතයි.
මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු වන්නේ නැහැ. නමුත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව සිදු කරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වන විට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.