Friday, April 18, 2025
Home » දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටීමට නියෝග
කෝට්ටේ හිටපු නගරාධිපති ජනක ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහි නඩුව

දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටීමට නියෝග

by mahesh
October 25, 2023 10:00 am 0 comment

චන්දන ජයවීර

කෝට්ටේ මහා නගර සභාවේ හිටපු නගරාධිපති ආර්. ඒ. ජනක රණවක ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා පනවා ඇති නඩුවේ පැමිණිල්ලේ දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පෙරේදා (23) නියෝග කළේය.

ආර්. ඒ. ජනක රණවක මහතා කෝට්ටේ මහා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් 2013 ජූලි මස 17 වැනිදා හෝ ආසන්න දිනෙක නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුව එහි තිබූ දේපොළ බලෙන් රැගෙන පරිගණකයේ තිබූ දත්ත සොරකම් කළ බවට මධුර විතානගේ මහතා කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනුකර ඇත.

නඩු භාණ්ඩ ලෙස පරිගණකයක්, දෘඩ තැටි, සංයුක්ත තැටි සහ පරිගණක දත්ත විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කර තිබේ.

2017 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 3, 12, 13 යන වගන්ති යටතේ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුහර්ෂණී හේරත් මහත්මිය පැමිණිල්ල ඉදිරිපත් කළාය.

නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිකරුවන් දෙදෙනාගේ ඇඟිලි සටහන් වාර්තා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුගේ මූලික සාක්ෂි පෙරේදා (23) අවසන් විය. ඔහුට හා පැමිණිල්ලේ දෙවැනි හා පස්වැනි සාක්ෂිකරුවන් වන ලෙස්ලි පෙරේරා, ඩබ්. ඒ. රත්නායක යන අයට මීළඟ නඩු දිනයේ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියම කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT