සැබෑ නායකයින් නම් මේ වන විට තිබෙන ප්‍රතිපත්ති,නිර්මාණය වෙමින් තිබෙන ප්‍රතිපත්ති ගැන දැනුවත් විය යුතු බවද අමාත්‍යවරයා අද (25) දින පැවසීය.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ,රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම 2023 – 2027 අද (25) දින අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වූ අවස්ථාවේදීය.
අපේ රටේ නායකයින් කියලා හිතාගෙන ඉන්න අය කිසිඳු දැනුවත් වීමකින් තොරව විදේශ රැකියා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කළ යුතු බවට යෝජනා කරන නමුත් 2008 වර්ෂයේදී පටන් අරගෙන 2015 වර්ෂයේදී නැවත සකස් කරලා 2023 වර්ෂයේදී නැවත සමාලෝචනය කරපු ප්‍රතිපත්තියක් තිබෙන බව නොදැනුවත් වීම කණගාටුවකට කරුණක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව කොළඹ කින්ස්බර් හෝටලයේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධන හා සහෝගිතා පිළිබඳ ස්වට්සර්ලන්ත අයතනයේ නිලධාරීන්ගේ සහභගීත්වයෙන් පැවැත්වීය.
ජාතික හා ගෝලීය වශයෙන් ඇතිව තිබෙන නව ප්රවනතා සැලකිල්ලට ගනිමින් මෙම නව ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇති අතර ඊට සියලුම පාර්ශවයන්ගේ සහය ලබා ගැනීමටද පියවර ගෙන තිබිණි.
මෙම ප්‍රතිපත්තිය 2008 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී ප්‍රථමයෙන් සකස් කළ අතර 2015 වර්ෂයේදී ආපසු පැමිණෙන විගමණික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා සහ අභිලාෂ කෙරෙහි අවධානය යොමුකරමින් ආපසු පැමිණීම සහ පුනරුත්ථාපනය පිළිබඳ උප ප්රතිපත්තියයි සකස් කළේය.
ඒ අනුව 2018 වර්ෂයේදී පවතින ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම හා රැකියා සඳහා විගමනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම ආරම්භ කරන ලදී.
මේ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධනය හා සහයෝගීතා පිළිබඳ ස්විට්සර්ලන්ත ආයතනයේ තාක්ෂණික සහ මූල්‍යමය සහයෝගයද ලැබිණි. මෙලෙස සකස් වූ රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්මට මෙම වසරේ සැප්තැම්බර් 4 වැනිදා කැබිනට් අනුමැතියද හිමිවිය.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානාක්කාර මහතා මෙසේද පැවසීය,
“අපේ රටේ බොහොමයක් නායකයින් කියල හිතාගෙන ඉන්න අය විදේශ සේවා නියුක්තිකයින් සම්බන්ධයෙන් වූ ප්රතිපත්තියක අවශ්‍යතාව ගැන මාධ්‍යට කතාකරන ආකාරය මම දැක්කා. ඒත් නායකයින් නම් මේ වෙනකොට තිබෙන ප්‍රතිපත්ති, මේවන විට නිර්මාණය වෙමින් පවතින ප්‍රතිපත්ති ගැන දැනුවත් වියයුතුයි.
මේ අතර නායකයින් යැයි කියන, නායකයින් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදේශ සේවා නියුක්තිකයින් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තියක් හදන්න ඕනේ කියලා කිව්වා. ඒත් ඔහු ඒක යෝජනා කරනකොට 2008 පටන් අරගෙන 2015 නැවතත් සකස් කරලා,2023 යලිත් ඒ පිළිබඳ සමාලෝචනය කරපු සැලැස්මේ සියලු කටයුතු අවසන් කරලයි තිබුනේ. අපිට ඒක ඉදිරිපත් කරන්න විතරයි තිබුනේ. කොහොම වුනත් අද මේ වෙලාවේ, අපිට උදව් කරපු සියලුම ආයතන වලට ස්තූතිවන්ත වෙනවා.
අපේ විදේශ ගත ශ්‍රමිකයින් තමයි රට වැටුන වෙලාවේ, රට ගොඩගත්තේ. රටේ ඩොලර් සංචිත බින්දුවට වැටුන වෙලාවේ, අපේ රටට උදව් කළේ මේ රටේ විදේශගත ශ්රමිකයොයි. ඒ නිසයි ඒ අය වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කරන්නත්, ඒ අය වෙනුවෙන් උපරිමයෙන් සහය දක්වන්නත්, මම කැපවෙලා කටයුතු කළේ.
මේ රටේ ඩොලර් සංචිත ඉවර වෙලා තිබුණ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් රටට ඩොලර් ගේන රාජකාරිය මටත් හරින් ප්‍රනාන්දු ඇමතිතුමාටත් භාර දුන්නා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා මට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය භාර දීලා අපේ රටේ විදේශගත ශ්‍රමිකයින්ගේ දායකත්වයෙන් රටට ඩොලර් ගෙන් කාර්ය භාර දුන්නා. අනිත් පැත්තෙන් අපේ හරින් ප්‍රනාන්දු ඇමතිතුමාට සංචාරක ක්ෂේත්රයෙන් රටට ඩොලර් ගේන කාර්ය භාර දුන්නා.
අවුරුද්දකුත් මාස කීපයක් ගතවෙන මේ වෙලාවේදී අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ රටේ බිංදුවට තිබුණ ඩොලර් සංචිතය, ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ගෙන එන්න. ඒ වගේම ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක් මේ අවුරුද්දට විතරක් අපේ විදේශ ගත ශ්‍රමිකයින් එවලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතාම වෙහෙස මහන්සි වෙලා, ගිය අවුරද්දේ විතරක් තුන් ලක්ෂ දොලොස් දහසක් විදේශ ගත කළා. අපි හිතනවා මේ අවුරුද්දේ ඒ ඉලක්කය අභිබවා යන්න හැකියාව ලැබෙයි කියලා.
අපේ විදේශ ගත ශ්‍රමිකයින් හට අපේ රටට සල්ල එවන්න කියලා ඉල්ලීම් කරන දැන්වීමක් දාන්න හදනකොට ප්‍රසම්පාදන වැඩවලට කාලයක් ගියා. ඒ නිසා අපි අපේ දන්න අයගෙන් උදව් උපකාර අරගෙන විදේශ රටවල ඉන්න අයගේ සල්ලි ටික ලංකාවට එවන්න කියලා ඉල්ලීම් කළා.
ගිය වුරුද්දේ මැයි මාසයේදීම අපි අපේ දැණුම්වත් කිරීමේ වැඩකටයුතු පටන් ගත්තා. අපි කිව්වා ඔබේ දරුවන්ට කාලා බීලා ඇදලා ඉන්න, පාසලට යන්න, විදුලිය දෙන්න, අම්මාට තාත්තාට බෙහෙත් ටිකක්වත් දෙන්න අපිට සහය වෙන්න, ඒ නිසා රටට ඩොලර් එවන්න කියලා. ඒ වෙලාවේ අපේ විදේශගත ශ්‍රමිකයෝ අපිට සහය දුන්නා.
අපේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් ලබාදෙන්න කියලා මම ගිය අවුරුද්දේ දෙවන කාර්තුවේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒත් ඉතාම කණගාටුවෙන් කියනවා අපිට තාම ඒ වැඩේ ක්‍රියාත්මක කරන්න ලැබුනේ නැහැ.
ඒ වැඩේ තාමත් භාණ්ඩාගාරයෙන් මහ බැංකුවටත්, අනික් බැංකුවලින් අපේ අමාත්යංශ්යයටත් පාවි පාවි තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විදේශග ශ්‍රමිකයින්ට නිවාස හදන්න අපි සැලසුම් කරලා තියෙනවා. අපි ඒ වගේම විදේශග ශ්‍රමිකයින්ට ගුවන් තොටුපොලේදී Hope Gate නමින් වෙනම ගේට්ටුවක් විවෘත කලා.
අපි ඒ අය විදේශ වල හිටිය කාලය අනුව වවුචර් ලබා දෙන්නත් කටයුතු කළා. ඒ වගේම ඔවුන්ගේ වැඩිහිටියන්ට සලකන්න කටයුතු කලා. ඒ වගේම අපි මේ අවුරුද්දම විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන්ම කටයුතු කරන්න පියවර ගත්තා.
ගුවන් තොටුපොලේදී විදේශගත ශ්‍රමිකයින්ට තීරුබදු රහිතව සහනයක් ලබා දීම සඳහා මම ගිය අවුරුද්දේ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් යෝජනාවට අනුමැතියත් ලැබුනා. හැබැයි තවමත් අපේ විදේශගත ශ්‍රමිකයින්ට ඒ තීරු බදු සහනය ලබා ගන්න පුළුවන් කමක් නැහැ.
ප්‍රතිපත්ති සම්පාදකයින් විදිහට අපි ප්‍රතිපත්ති තීරණ ගන්නවා, ඒත් අවසානයේදී අර අමාත්‍යංශයෙන් මේ අමාත්‍යංශයට, එක එක කාරණා නිසා අපි හිරවෙලා ඉන්නවා.
මේ අතර අපි ශ්‍රමිකයින්ට වාහන ආනයනය කරන්න අවස්ථාව දුන්නා. රටට කවදාවත් සල්ලි එවපු නැති ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් වල හිටිය අයත් අපිට සල්ලි එව්වා. ඒ සල්ලි වලට අනුව අපි බැංකු හොදින් පරීක්ෂා කරලා විදුලි වාහන ගේන්න බලපත්‍රයක් දුන්නා.
හැබැයි වෙළෙදපොලේ තියෙන ප්‍රශ්න වලටත් අපේ ඇතැම් රාජ්‍ය ආයතනත්, ඇතැම් දේශපාලඥයින්ගේ නොදැනුවත්කම නිසාවෙන් තීරු බදු සහන දුන්නේ ඇයි? බොහෝ අය අහන්න පටන් ගත්තා.
ඒත් අපි කිසිම අවස්ථාවක බදු සහනයක් දීලා නැහැ. අපි වාහන ආනයනය කරන්න බලපත්‍රයක් විතරයි දීලා තියෙන්නේ. අපි අවශ්‍යම වෙලාවේ රටට තෙල් ටික, ගෑස් ටික ගන්න උදව් කරපු අයටද අපි මේ අඩු සැලකිල්ල කරන්නේ? ඒවා ගැන අපි කල්පනා කළයුතුයි.
කොරෝනා වෙලාවේ මිනිස් බෝම්බ කිව්ව විදේශගත ශ්‍රමිකයින්ගේ තත්ත්වය උසස් කරලා ඔවුන්ට නිසි ගෞරවය දීලා ඒ අය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කලා. අපි ඒක හෙටත් කරනවා.
අපි යන වේගයට කටයුතු කරගෙන යන්න විදේශ සහ ජාත්‍යන්තර ආයතන සහය දෙනවා. ඒත් රට ඇතුලේ තියෙන ආයතන වල ඇතැම් නිලධාරීන් මේ වැඩේ ක්‍රියාත්මක නොකර ඉන්න එකයි මේ වගේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට තියෙන ලොකුම අභියෝගයයි.
මේක තමයි ජාතික ප්‍රතිපත්ති හදන හොදම වෙලාව. මේක පක්ෂ ආණ්ඩු මාරු වුනාට වෙනස් නොවන ප්රතිපත්තියත් ඒකට සියලුදොනටම සහය දෙන්න කියලා මම ඉල්ලනවා.