විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා “මත්ද්‍රව්‍ය විරෝධී“ බල අධිකාරියක් (Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම ‘මත්ද්‍රව්‍ය විරෝධී’ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.
සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පෙරේදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට ඊයේ (24) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂක නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91ක් (කිලෝමීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන කොළඹ වරායට ගෙනවිත් තිබිණි.
මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65%ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් සාගල රත්නායක මහතා, මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාව ද පැහැදිලි කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේ ද පැවසීය.
“හෙරොයින් කිලෝ 200ක තරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදාවටත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයටත් මා පළමුවෙන්ම ප්‍රණාමය පුද කරනවා. පසුගිය දින කිහිපය තුළ මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාවේදී වැටලීම සිදු කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරකට අනුවයි. රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු අනුව නාවික හමුදාව විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.