Home » චීනය-ඉන්දියාව රුසියාව ඇතුළු රටවල් 7කට නොමිලේ සංචාරක වීසා

චීනය-ඉන්දියාව රුසියාව ඇතුළු රටවල් 7කට නොමිලේ සංචාරක වීසා

ඓතිහාසික ස්ථාන එකවර බලන්න පැකේජ් ප්‍රවේශ පත්‍රයක්

by mahesh
October 25, 2023 1:00 am 0 comment

සමන්මලී ප්‍රියශාන්ති

රටවල් 7ක් සඳහා ලබන වසරේ මාර්තු 31 දා තෙක් නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීම ඇතුළු සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කෙටිකාලීන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානයෙන් පැමිණෙන සංචාරකයන් සඳහා 2024-03-31 දක්වා නොමිලයේ සංචාරක වීසා නිකුත් කෙරේ. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබේ.

ඉදිරි වසර තුනක කාලය තුළ වසරකදී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් සපුරා ගැනීම මෙමඟින් අරමුණු කෙරේ. මෙම කෙටිකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමි වී තිබේ. අගමැති දිනේෂ් ගුණවර්ධන, සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහත්වරු ඒකාබද්ධව මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා ඓතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එකවර ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට හැකියාව ලැබෙන පරිදි පැකේජ ප්‍රවේශ පත්‍රයක් ගුවන්තොටුපොළේදීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට අවස්ථාව සලසා දීමට ද මේ කෙටිකාලීන වැඩසටහන්වලට අයත්ය.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර අලෙවිය ද මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එකවර ගෙවා ලබා ගන්නා පොදු ප්‍රවේශපත්‍රයක් ලෙස ගුවන්තොටුපොළේදීම මිල දී ගැනීමට අවස්ථාව සැලසීම ද මේ යටතේ සිදු කෙරේ.

කොවිඩ් වසංගතය, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම පසුව ඇති වූ බරපතළ ආර්ථික අර්බුදය හමුවේ පසුබෑමට ලක්ව ඇති මෙරට සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය සඳහා මෙම කෙටිකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT