පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්කි විමසීමක් සිය ජංගම දුරකතනය මඟින් පටිගත කිරීමට වරදකරු වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය මාස 8ක කාලයකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඊයේ (24) නියෝග කරන ලදි.
අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාම් මොහොමඩ් ෂමීන් නමැති නීතිඥවරයාගේ නීතිඥභාවය මෙලෙස අත්හිටුවන ලදි. එම නීතිඥවරයාට එරෙහිව අදාළ කොමිසමේ ලේකම්වරයා විසින් ගොනු කළ පැමිණිල්ලකට අදාළව කරුණු විභාග කර අවසානයේ එහි තීන්දුව ලබා දෙමින් මෙම නියෝගය කරන ලදි.
බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කරන ලදි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්කි විමසීම සිදු කෙරුණු ඉකුත් 2020 සැප්තැම්බර් මස 9 වැනිදා “සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව” වෙනුවෙන් “මොහොමඩ් මුර්සියා මර්ෂා මුල්ලා” විසින් සාක්ෂි ලබා දෙමින් සිටි බව අදාළ තීන්දුවේ සඳහන් වේ.
එම අවස්ථාවේදී වගඋත්තරකාර නීතිඥවරයා සිය ජංගම දුරකතනය මඟින් එම සාක්කි ලබා දීම පටිගත කර ඇත.
ඒ සම්බන්ධයෙන් එම කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී. හේරත් මහතා නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීති කඩ කිරීම යටතේ නඩු විභාගයක් පවත්වන ලදි.
එහි තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත්තේ නීතිඥවරයා සිදුකර ඇති ක්‍රියාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්වල සඳහන් විසිතුන් වන රීතිය උල්ලංඝනය වන බවය.