Home » අස්වැසුම අහිමි වූ ලක්ෂ 2කට තවත් චාන්ස් එකක්
බැංකු ගිණුම් නැතිව

අස්වැසුම අහිමි වූ ලක්ෂ 2කට තවත් චාන්ස් එකක්

by mahesh
October 25, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

හැඳුනුම්පත නැතිව ගිණුම් ඇරඹීමට ඉඩ
වහාම ගිණුම් විවෘත කර ප්‍රතිලාභ ලබාගන්න ඇරියුම්
– සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න කියයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා එම ප්‍රතිලාභ ලබා ගැනීමට මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නැති සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගන්නා ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි.

දැනට ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කර ඇති බවද නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

පූර්ණ විනිවිදභාවකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම අරමුණු කර ගනිමින් ඇරඹි අස්වැසුම වැඩසටහනෙහි වත්මන් තත්ත්වය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවති සාකච්ඡාවේදී ජයන්ත විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වැනිදා වන විට, පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00ක මුදලක් ගෙවා අවසන් බවත් ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවත් විජේරත්න මහතා මෙහිදී කීය.

ජාතික හැඳුනුම්පත් නැති වීම හේතුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි අස්වැසුම අයැදුම්කරුවන්ට මාස 06ක් තුළ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ලබා දී තිබේ.

අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එම ප්‍රමාදයන්ට හේතු වී ඇති කරුණු සොයා බලා ප්‍රතිලාභ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ප්‍රතිලාභීන් ලක්ෂ දෙකකට පමණ බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකිව ඇති බැවින් ඔවුන් ගිණුම් විවෘත කළ වහාම කිසිදු ගැටලුවකින් තොරව අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේය.

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම පරිගණක පද්ධතියෙන් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කර තම ප්‍රදේශයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන ඕනෑම බැංකු ශාඛාවකින් අස්වැසුම ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම විවෘත කිරීමේ හැකියාව පවතින අතර එම ගිණුම් විස්තර අදාළ බැංකුව මඟින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (පාලන) කේ.පී. හර්ෂ විජේවර්ධන, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සමාජ සවිබල ගැන්වීම) චම්පික කළුආරච්චි, ජාතික අය-වැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්. අනෝමා නන්දනී, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සමාජ යටිතල පහසුකම්) ජේ.එම්.එස්.ඩී. රත්නායක, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ‍යේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ග්‍රාම නිලධාරී පරිපාලන) ඩී.ඩී.සී. අතුකෝරල සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රාදේශීය පරිපාලන) ඩබ්ලිවි.පී.සී.ඒ. වීරසූරිය යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකරුවන්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT