මොරවක කලාපයේ පාසල්වලට නිවාඩු
මුලටියන පාසල් 7ක් වසයි
අකුරැස්ස-කඹුරුපිටිය මාර්ගය ජලයෙන් යට වෙයි
කොටපොළ ඌරුබොක්ක මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
“මාතරට යළි ගංවතුර දෙනියායේ හා මුලටියන පාසලුත් ඊයේ දින වසයි“
මාතර දිස්ත්‍රික්කයට පෙරේදා (22) දින පස්වරුවේ සිට ඊයේ (23) අලුයම් කාලය දක්වා නොනවත්වා ඇදහැලුණ අධික වැසි තත්වය මත ඇතිවූ ගංවතුර, කඳු කඩාවැටීම් හා මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යළි ආපදා තත්වයක් ඇතිව තිබුණි.
මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පැවසූවේ අකුරැස්ස, අතුරලිය හා මුලටියන ප්‍රදේශවල ගංවතුර තත්ත්වය යළි වැඩිවීමක් සිදුවු බවයි. දෙනියාය ප්‍රදේශයට බලපාතිබූ අධික වැස්ස හේතුවෙන් කඳු කඩා වැටීම, මහා මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ඇතිව තිබූ අවධානම් තත්වය මත ඊයේ (23) මොරවක අධ්‍යාපන කලාපයේ පාසල්වලට නිවාඩු ලබාදී තිබුණි. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා පැවසූවේ අවශ්‍යතා මත පාසල් වසා තැබීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදුන් බවයි.
මෙයට අමතරව අහයපත් කාලගුණික තත්වය සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් හක්මන මුලටියන අධ්‍යාපන කලාපයේ පාසල් හතක් ඊයේ (23) දින වසා තැබීමට කටයුතු කළ බව මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලය පැවසුවේය.
මුලටියන කඹුරුපිටිය සහ හක්මන ප්‍රදේශවලට පෙරේදා දින රාත්‍රියේ ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් කිරම වැව සහ කිරම ආර පිටාර ගැලිම නිසා මාකදුර මහ විදුහල සහ ප්‍රාථමික විදුහල, රන්සෑගොඩ උතුර මහ විදුහල, කොරුඹුරුවාන මහ විදුහල, මිපාවිට කනිටු විදුහල, සීනිපැල්ල කනිටු විදුහල හා ගෝදාව කනිටු විදුහල යන පාසල්වලට මෙලෙස නිවාඩු ලබාදුන් බව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එම්. ටි. එම්. ආකිල් මහතා පැවසීය.
ඇතිවූ තත්වය මත ඊයේ (23) දිනට නියමිතව තිබූ දෙවන වාර පරීක්ෂණය ද කල්දමා ඇත. අදාළ පාසල්වල ඊයේ දිනට නියමිත විෂය ඉදිරි දිනකදී පැවැත්වීමට සැලසුම්කරන බව මොරවක කලාප අධ්‍යාපන අධ්යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
හදිසි ආපදා තත්වය මත මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් වැසීමට හදිසියේ කරන ලද දැනුම්දීම මත පාසල් වසනු ලැබූව ද අදාළ නිවේදනය නොලැබූ පාසල් සිසුන් නියමිත පරිදි පාසල් වෙත පැමිණ තිබූ අතර කලාප අධ්‍යක්ෂවරිය පැවසූවේ එලෙස පැමිණි සිසුන් ආරක්ෂිතව මවුපියන්ට භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවයි.
මේ අතර නිල්වලා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වැසි තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදන කර තිබුණි.
ඊයේ (23) අලුයම 2.00ට ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගඟේ ජලමාපකවල විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 3 සිට 24දක්වා කාලය තුළ කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් ජලයෙන් යටවෙමින් පැවති අතර කොටපොල ඌරුබොක්ක ප්‍රධාන මාර්ගය ඌරුබොක්ක බද්දන්වෙල ප්‍රදේශයෙන් ජලයෙන් යටව පැවතිණි. එමෙන්ම නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළයාම නිසා මොරවක නගරය පිටුපස දුම්මලේවත්ත පාර් සම්පූර්ණයෙන්ම යට වී තිබුණි. කිරම ආර හා උරුමුත්ත ඔය මාකඳුර ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් මුලටියන කඹුරුපිටිය මාර්ගය ඊයේ උදැසන වන විට ජලයෙන් යටව පැවතියේය.
මෙයට අමතරව කොටපොල ඌරුබොක්ක මාර්ගයට පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිරවී තිබූ අතර ඊයේ (23) පෙරවරුව වන විට දික්වැල්ල, මාතර මඩිහ, මාතර වල්ගම, වල්පොළ, කොටවිල, මිරිස්ස ප්‍රදේශයන්හි ද මාර්ග වැසි ජලයෙන් යටව පැවතිණි.
ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ