Home » කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය හා ගමන

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය හා ගමන

by sachintha
October 24, 2023 1:00 am 0 comment

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය ගැන සලකා බැලීමේදී එය වසර සිය ගණනකටත් එහා එනම් 13 වන සියවස තරම් කාලයක යුරෝපය දක්වා දිව යන්නකි. නමුත් එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළ එයින් බොහෝ කලකට පසුත් එනම් 18වන සියවසේදී ස්ථාපිත විය. අද වන විට එක්සත් ජනපදයේ සහ ලොව පුරා විවිධ කොටස් වෙළෙඳපොළෙහි කාර්යසාධනය ආර්ථිකයේ විවිධ කොටස්වල තත්ත්වය මැන බැලීමට ආධාර උපකාර වී ඇත.

කෙසේ නමුදු කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය බොහෝ හැළ හැප්පීම්, පෙරැළීම් සහිත දිගු වංගු සහිත මාර්ගයක් බව පෙනී යයි.

ඒ අනුව පළමු කොටස් හුවමාරුව වූයේ 1602දී පිහිටුවන ලද ඇම්ස්ටඩ්‍රෑම් කොටස් හුවමාරුව වේ. මුලදී ලන්දේසි ඊස්ට් ඉන්දීයා සමාගම සඳහා පමණක් කොටස් වෙළෙඳාම් කළ හැකි වූ අතර එය ලෝකයේ පළමු පොදු සමාගම බවට පත්විය. ඉන්පසුව තවත් සමාගම් එකතු වූ අතර ඒ සමඟම හුවමාරු ලයිස්තු ගත කිරීම් හා ගාස්තු ද සාමාන්‍ය වෙළෙඳ වේලාවන් වැනි වැදගත් ගුණාංග හඳුන්වා දෙන ලදී. මේ සියල්ල එදා අනාගත කොටස් වෙළෙඳපොළ සඳහා දැමූ අඩිතාලමක් වැන්න.

1801 දී පිහිටුවූ ලන්ඩන් කොටස් හුවමාරුව

වාණිජමය භාණ්ඩ හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම සඳහා 1571 දී මෙම හුවමාරුව මූලික වශයෙන් පිහිටුවනු ලබන විට කොටස් තැරැව්කරුවන්ට ගොඩනැඟිල්ල තුළට ඇතුළුවීමට අවසර නොතිබිණි. එදා මිනිසුන්ගේ පැවැති කලහකාරී හා නොහික්මුණ ස්වභාවය නිසා ඒ ගොඩනැඟිල්ල අසල තිබූ ජොනතන්ගේ ‘කොපි හවුස්’ තුළට සුරැකුම්පත් වෙළෙඳාම සම්ප්‍රාප්ත වීමට හේතු විය. 1669 දී ලන්ඩනයේ ඇති වූ මහා ගින්නෙන් එය විනාශ වූ පසු නැවත එය ගොඩනඟන තෙක් කොටස් තැරැව්කරුවන්ට රාජකීය හුවමාරුව තුළ ව්‍යාපාර කිරීමට අවසර අහිමි විය. එහෙත් 1773 දී Sweeting’s Alley හි වඩාත් විධිමත් හුවමාරුවක් නිර්මාණය විය. මෙය 1801 වන විට ලන්ඩන් කොටස් හුවමාරුවේ නිල ස්ථානය බවට පත්විය.

1891 දී පිහිටුවූ හොංකොං කොටස් හුවමාරුව

හොංකොං කොටස් හුවමාරුව මුලින්ම පිහිටුවනු ලැබුවේ හොංකොං කොටස්කරුවන්ගේ සංගමය ලෙසිනි. එය 1914 වන තෙක් හොංකොං කොටස් හුවමාරුව ලෙස ප්‍රසිද්ධියට පත් විය. මේ නිසා නගරයේ ජනප්‍රිය නැව් වරායක් සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රමුඛත්වයට පත්ව ඇති බැවින් එය ලෝකයේ විශාලතම කොටස් හුවමාරුව බවට පත්ව ඇත.

1971 දී පිහිටුවූ NASDAQ හුවමාරුව

නිව්යෝර්ක් නගරයේ කොටස් හුවමාරු මූල්‍ය මූලස්ථානය වන NASDAQ එක්සත් ජනපදයේ වඩාත්ම ක්‍රියාකාරී හුවමාරුවකි. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ලෝකයේ දෙවැනි විශාලතම හුවමාරුව මෙය වේ. එසේම එය පළමු ඉලෙක්ට්‍රොනික් හුවමාරුව ද වේ. එමනිසා NYSE වැනි විශාල හුවමාරුවලට එරෙහි ක්ෂණික තරඟකරුවකු බවට පත් වූ NASDAQ අනෙකුත් හුවමාරු ද ඉලෙක්ට්‍රොනික වීමට දිරිගැන්වීමක් කර ඇත.

2000 දී පිහිටුවූ Euronext කොටස් හුවමාරුව

මෙය පිහිටුවනු ලැබුයේ ඇම්ස්ටඩ්‍රෑම් කොටස් හුවමාරුව, බ්‍රසිල්ස් කොටස් හුවමාරුව සහ පැරිස් කොටස් හුවමාරුව ඒකාබද්ධ කිරීමෙනි. එය ස්ථාපිත කරන ලද්දේ හවුල් වූ යුරෝපීය මුදලින් ප්‍රයෝජන ගැනීමටය. එය දැන් NYSE NASDAQ සහ China’s shanghai Exchange හා Euronext ලෙස අනුපිළිවෙළින් සිවුවැනි ස්ථානය වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ලබාගෙන ඇත. යුරෝනෙක්ස්ට් යුරෝපීය සංගමයේ සාමාජික රටවල් කිහිපයක ක්‍රියාත්මක වන අතර, එය සැළකිය යුතු ලෙස සංකීර්ණ සහ ඉහළ වෙළෙඳාමක් කරන හුවමාරුවක් වී ඇත.

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය පිළිබඳ මෙතෙක් ඔබට විස්තර ගෙන ආ නමුදු මුලින් පැවැසූ පරිදි කොටස් වෙළෙඳපොළ සිදු වූ විවිධ හැලැහැප්පීම්, පසුබෑම් හා පෙරළිය පිළිබඳ මීළඟට සලකා බලමු.

ප්‍රථමයෙන් 1929 දී සිදු වූ වොල්වීදියේ කඩා වැටීම පිළිබඳ ගෙනහැර දැක්විය හැක. කොටස් වෙළෙඳපොළ කඩාවැටීම යනු සමාගම් කිහිපයකම හෝ අංශ කීපයකට පමණක් නොව සමස්ත ආර්ථික වෙළෙඳපොළටම බලපාන මිල ගණන් හදිසියේ හා අනපේක්ෂිත ලෙස කඩාවැටීමකි. මේ 1929 බිඳවැටීම සිදුවූයේ දශකයක ඉහළ ආර්ථික සමෘර්ධියකින් පසුව එන අතර, එය මිල ගණන් තිරසාර නොවන මට්ටමට ගෙන ගියේය. එය 1941 දක්වා පැවැති මහා අවපාතයට ප්‍රධාන හේතුවක් විය.

1987 දී කළු සඳුදා ලෙස නම් වූ තවත් දරුණු වෙළෙඳපොළ කඩාවැටීමක් වූ අතර, එය එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළෙහි වටිනාකමින් 20% දක්වා අහිමි වීමට හේතු විය.

1999 – 2000 තුළදී ඩොට්කොම් බුබුල නමින් කඩාවැටීමක් සිදුවී ඇත. එය ඇතිවූයේ නව තාක්ෂණික ආයෝජනවල තියුණු වැඩිවීමක් හා නව සමාගම්වලින් බලාපොරොත්තු වන ලාභ මට්ටම නිර්මාණය කිරීමට අසමත් වීමෙන් පසුවය.

උළුවඩුගේ ලීලසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT