Home » සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අමාත්‍යාංශයේ වැඩ බාර ගනියි

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අමාත්‍යාංශයේ වැඩ බාර ගනියි

by yasara
October 24, 2023 3:41 pm 0 comment

වර්තමානය සෞඛ්‍ය සේවාවේ යම් යම් ගැටළු පිළිබදව සමාජයේ විශාල අවධානයක්, කථිකාවතක් ගොඩනැගී ඇති කාල වකවානුවක් බවත්, වෘත්තකයින් බලාපොරොත්තු වන, සමාජය බලාපොරොත්තු වන වෙනස් කම් කිහිපයක් ඇති බවත්, අමාත්‍යවරයා ලෙස අදාල ව්‍යුහාත්මක හා පුද්ගල වෙනස්කම් කිරිමට තමා බැදී සිටින බවත්, එය කාලානුරූපිව තමා වෙත පැවරෙන වගකීමකත් බවත්, එවැනි  තීන්දු ගැනීමේ දී පුද්ගල තරාතිරම හෝ පෞද්ගලිකත්වය නොසළකන ලෙසත්, එය සෞඛ්‍ය සේවාවේ උන්නතිය, යහපැවැත්ම, මතුපරපුර සහ රට වෙනුවෙන් ගන්නා තීන්දුවක් බවත් අභිනව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද (24) උදෑසන යෙදුන සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමිනි. එතුමා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දීම ඊයේ (23) සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් කියා සිටියේ අද දින තමා උණුසුම් ලෙස පිළිගැනීම පිළිබදව සියළු දෙනාට ස්තූතිය පුද කරන බවත්, සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට ලද මෙම අවස්ථාව පිළිබදව සතුටට පත්වන බවත්ය.

පසුගිය කොරෝනා ව්‍යසන අවධියේ රටත් , ජනතාවත් බේරාගැනීමට සෞඛ්‍ය සේවාවන් ඉටුකළ මෙහෙය විශිෂ්ට බවත්, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන යම් යම් සෞඛ්‍ය අභියෝග ජයගැනීම වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ශ්වයන් රැසක් විසින් කරන ලද ඉල්ලීම පිළිගෙන සෞඛ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කිරිමට පැමිණි බවත්, සෞඛ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු  සියළු කාර්ය මණ්ඩල එකතු වී අභියෝගවලට මුහුණ දී සිටින වර්තමාන සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීමටත්, නගා සිටුවීමටත් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම නිදහස් සෞඛ්‍යයේ හා අධ්‍යාපනයේ ප්‍රතිලාභ රටේ සියළු දෙනා භුක්ති විදින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අඩු පිරිවැයකින් ඉතාම ඉහළ ඵළලදායි සෞඛ්‍ය සේවාවක් ලබාදෙන රටක් ලෙස ශ්‍රී ලංකාව නිරන්තරයෙන් හදුන්වාදෙන බවත් අමාත්‍යවරයා පැවැසීය. ලෝකයේ සංවර්ධිත රටවල් බහුතරයකට වඩා ඉහළ සෞඛ්‍ය පරිසාධන මට්ටමක් අත්කර ගැනීමටත්, එහි විශිෂ්ට ප්‍රතිඵල පසුගිය කාලයේ අත්විදි බවත් පැවසූ අමාත්‍යවරයා මෙම දශකය ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2016 වර්ෂයේ දී සකස් කර 2025 දක්වා බලගැන්වෙන ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව මෙරට ජනතාව කේන්ද්‍ර කරගත්, රෝගීන් මුල්කර ගත්, තොරතුරු හා දත්ත මත පදනම් වූ හා රෝගීන්ගේ මූල්‍ය අවධානම අඩු කරන ශක්ති සම්පන්න සෞඛ්‍ය සේවාවක් බිහි කිරිම සෑම කෙනෙකුගේම වගකීමක් බවත්,

ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික සෞඛ්‍ය සේවාවට ඇති බරපතල වගකීම් රෝග නිවාරණය මගින් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට‌ රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹූර, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත,  සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ආයතන ප්‍රධානීන් ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT