Home » කෝටි 4ක කුඩු ‍ගෙන්නුවේ බූස්සේ රැඳවි­‍යෝ දෙදෙනෙක් -තවත් බෝට්ටුවක් අල්ලයි

කෝටි 4ක කුඩු ‍ගෙන්නුවේ බූස්සේ රැඳවි­‍යෝ දෙදෙනෙක් -තවත් බෝට්ටුවක් අල්ලයි

by sachintha
October 24, 2023 1:05 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව සිදු කළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91ක් පමණ (කිලෝමීටර් 168ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (22) දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ආ රුපියල් මිලියන 4000ක පමණ වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 212ක ප්‍රමාණයේ මෙරට ඇණවුම්කරුවන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ අපරාධකරුවන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගයේ ඇණවුම්කරුවන් බවත් ඒ සම්බන්ධයෙන් කල්තියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබී තිබුණු තොරතුරකට අනුව මෙම මෙ‍ෙහයුම නාවික හමුදාව සමඟ එක්ව දියත්කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටියත් ජංගම දුරකතන භාවිතා කරමින් මත්කුඩු ඡාවාරම මෙහෙයවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අනාවරණයකර ගනිමින් කළ දීර්ඝ ආවේක්ෂණයකදී ඔවුන් විසින් කළ මෙම මත්කුඩු ඇණවුම ගැන තොරතුරු හෙළිවී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් නාවික හමුදාව සමඟ එක්ව ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම දියත්කර තිබේ. දෙවුන්දර තමිල් මෙරට සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

පකිස්තානු ජාවාරම්කරුවන් විසින් පකිස්තානයේ සිට හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් පිරවූ යාත්‍රාවක් මෙරට ජාවාරම්කරුවන්ට ලබාදීමට ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට රැගෙන විත් එයින් කොටසක් මෙම බහුදින යාත්‍රාවට පටවා ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. සෙසු මත්ද්‍රව්‍ය තොගය වෙනත් ජාවාරම්කරුවන්ගේ ඇණවුම්වලට අනුව වෙනත් බෝට්ටුවලට පටවා ඇතැයි ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී. බොහෝ විට එම යාත්‍රාවල පෙරේදා (22) ගොඩබිමට රැගෙන ආ මත්කුඩුවලට වඩා වැඩි බරැති මත්කුඩු තොගයක් තිබෙන්නට හැකි බව විශ්වාස කෙරේ.

පෙරේදා (22) ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ උර දොළහක් (12) තුළ පාර්සල් එකසිය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් විසි අටක (28) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) තිබුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය. එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් 05 දෙනාද අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ත් 53 අත‍ර වන දෙවුන්දර සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. ඉදිරි විමර්ශන සඳහා මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT