ඇමති විදුර විසඳුම් දෙයි
හොරණ ප්‍රාදේශීය සභාවට අයත් අක්කර 10ක වපරිසයකින් යුත් ඉංගිරිය මහජන ක්‍රීඩාංගණයට කසළ බැහැර කරමින් සිදුකරන විනාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වී මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් වූ පුවතක් සම්බන්ධයෙන් සොයා බැලීමට අවසානයේ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද එම ස්ථානයට අදාළ නිලධාරීන් සමඟ පසුගියදා පැමිණියේ ය.
ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිටුපස පිහිටි මෙම ක්‍රීඩාංගණයට ඉතා අවිධිමත් අයුරින් කසළ බැහැර කරන බවත්, මෙම හේතුව නිසා එය ශීඝ්‍රයෙන් විනාශ මුඛයට යන බවත් පවසමින් ඉංගිරිය ප්‍රදේශයේ තරුණයෙකු විසින් පසුගියදා ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ අතර, එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිරයාමත් සමඟ ඊට වගකිවයුතු බවට ඔහු විසින් ඍජුවම චෝදනා එල්ල කර තිබූ හොරණ ප්‍රාදේශීය සභාව විසින් පසුදින ක්‍රීඩාපිටියට පිවිසෙන මාර්ගය බාධක දමා වසා ඇති බවට හෙළිකරමින් දෙවන වරටත් ප්‍රාදේශීය සභාව වෙත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි චෝදනා එල්ල කෙරුණි.
මෙම පුවත ඉංගිරිය ප්‍රදේශවාසීන් අතර දැඩි ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා චෝදනාලත් නිලධාරීන් ද සමඟ ක්‍රීඩා පිටියට පැමිණ චෝදනාව එල්ල කළ තරුණයා ඇතුළු පිරිස හමුවී ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවිණි.
එහිදී ෆේස්බුක් චෝදනාව නැඟූ ඉංගිරියේ ශාලිත ජයසිංහ තරුණ මහතා පවසා සිටියේ, “ජලය, විදුලිය, වැසිකිළි පහසුකම් ආදී මූලික පහසුකම් කිසිවකින් තොරව මෙම ක්‍රීඩාංගණය සඳහා මුදල් අයකරමින් මෙහි සැණකෙළි, සංගීත සංදර්ශන ආදී විවිධ අංගයන් පැවැත්වෙන බවත්, පිට්ටනියට යාමට ඇති මාර්ගය නිසි ලෙස සකස්කර, මූලික පහසුකම් ලබාදී, වර්ෂාවට නොතෙමී සිටීමට හැකිවන ලෙස ආවරණයක් ඉදිකර දී, ක්‍රීඩාංගණයේ සිදුවන අවිධිමත් කසළ බැහැර කිරීමට විසඳුමක් ලබාදෙන ලෙසත්ය.
හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක රණතුංග, වර්තමාන ලේකම් ප්‍රසන්න සිරිසේන ඇතුළු නිලධාරීන් සමඟින් මේ සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිදුකළ සාකච්ඡාවකින් පසු ගත් අවසාන නිගමනය වූයේ, ක්‍රීඩාපිටියට පිවිසීමට කාපට් කරන ලද විශාල මාවතකුත්, නාන කාමර (වොෂ්රූම්) සහ වැසිකිළි පහසුකම් සහිත නවීන ක්‍රීඩා නිවහනකුත් (පැවිලියන්), මීටර් 400ක ධාවන පථයක් සමඟ විදුලි ආලෝකය සහිත රාත්‍රී වොලිබෝල් පිටියකුත්, ක්‍රීඩාවට අවශ්‍ය අනෙකුත් පහසුකම් රැසකුත් ලබාදීමට කටයුතු කරන බවයි.
එසේම ක්‍රීඩාංගණයේ සිදුකළ අවිධිමත් කසළ බැහැර කිරීමත්, එය හෙළිකිරීමෙන් පසුව ක්‍රිඩාපිටියට ඒමට තිබූ මාර්ගය බාධක දමා වැසීමත් සම්බන්ධයෙන් අප කළ විමසුමකදී හොරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ප්‍රසන්න සිරිසේන මහතා පවසා සිටියේ, “ඉංගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම ක්‍රීඩාංගණයට කසළ ගෙනවිත් දැමූ බවට තොරතුරු ලැබුණු බවත්, අදාළ විමර්ශනවලින් පසු එම පුද්ගලයා සහ කසළ රැගෙන ආ වාහනය හඳුනාගත් බවත්, පසුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන එම කටයුත්ත නතර කිරීමට අවශ්‍ය පියවර ගත් බවත්, ඉදිරියේදී මෙවන් සිදුවීම් ඇතිනොවීමට මේ සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියද දැනුවත් කිරීමට පියවර ගත් බවත්ය.
එසේම, “ක්‍රීඩා පිටියට යන මාර්ගය වසා දැමුවේ ක්‍රීඩාංගණයට වාහන වලින් කසළ ගෙනැවිත් බැහැරකිරීමට නොහැකිවන ලෙසින් බවත්, ගෙනවිත් දමා තිබූ කසළ ද ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවත්” පවසා සිටි ලේකම්වරයා, බාධක දමා වසාදැමූ මාර්ගය ක්‍රීඩාකිරීමට පැමිණෙන තරුණ පිරිසට බාධාවක් නොවී වාහන ඇතුළුකිරීමට නොහැකි වන ලෙස පමණක් වසාදැමීමට කටයුතු කරන බවත්” පවසා සිටියේය.