විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීම සඳහා ලබා දී තිබූ ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වීමේ බලපත්‍ර අව භාවිත කරමින් ගෙන් වූ බවට සැක කෙරෙන වාහන 7ක් රේගු භාරගයට ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අලෙවි කළ බවට සැක කෙරෙනව වාහන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
අදාළ අවසරය ලබා දී තිබූ දිනයේ සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ රථ වාහන 119ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර ඉන් 75ක් ම එකම ආයතනයක් මගින් ආනයනය කර ඇත. මේ හේතුවෙන් රජය අහිමි කරගත් ආදායම රුපියල් බිලියන 35ක් පමණ වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම, අන්සතු කිරීම, නියමිත පරිදි බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සහ අදාළ රථ වාහන ආයනය කර ඇත්තේ සැබැවින් ම විදේශ ශ්‍රමියකන්ගේ මුදල්වලින් ද යන කරුණු හතර ඔස්සේ මේ වන විට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව සියඹලාපිටිය මහතා පවසයි.
මේ අතර මේ දක්වා ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස මධ්‍යසාර සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව අමාත්‍යවරයා පැවැසීය. ඒ තව දුරටත් මධ්‍යසාර සමාගම් වෙත බදු සහන ලබා දෙන බවට විපක්ෂ නායකවරයා විසින් කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.
අමාත්‍යවරයා සඳහන් කළේ වසර 10ක පමණ සිට ගෙවා දැමීමට ඇති හිග බදු පවා මේ යටතේ අයකර ගැනීමට නියමිත බවයි. එසේ නොමැතිව කිසිදු පාර්ශ්වයකට බදු සහන ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේ ය.