Monday, April 21, 2025
Home » උතුරු හා නැගෙනහිර ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ගැන දැනුම් දීමක්

උතුරු හා නැගෙනහිර ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ගැන දැනුම් දීමක්

by chanaka
October 23, 2023 1:43 pm 0 comment

ඉදිරි වසර තුන ඇතුළතදී උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

‍අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම පළාත්වල මේ වනවිට අවතැන්වූ පවුල් 274,120ට අයත් පුද්ගලයන් 917,143 දෙනෙකු පදිංචිකර අවසන් බවයි. ඒ අනුව තවදුරටත් පවුල් 1,701ට අයත් පුද්ගලයන් 4,999 දෙනෙකු නැවත පදිංචි කිරීමට සිටින බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මන්නාරම, එරුක්කලම්පෙට්ටි “Kuwait Zakath” නිවාස ගම්මානය – දෙවැනි අදියර සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (22) සහභාගී වෙමිනි.

මෙම නිවාස ගම්මානය නිවාස 125 කින් සමන්විත වන අතර මෙය ඉදි කෙරෙන්නේ “කුවේට් සකාත් හවුස්” ආයතනයේ මූල්‍යාධාර මතයි. මෙහි එක් නිවසක් ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 18 ක මුදලක් ලබාදෙනු ලැබේ.

නිවාස 75 කින් සමන්විත මෙහි පළමු අදියර මීට පෙර විවෘත කෙරිණ. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 105කි.

තිස්වසරක එල්.ටී.ටී.ඊ යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූ ජනතාව වෙනුවෙන් නිවාස අවශ්‍යතාවය 20276කි.

යුධ සමයේදී සරණගතයන් ලෙස ඉන්දියාවට සංක්‍රමණයවූ පවුල් 3828කට අයත් පුද්ගලයන් 9683 දෙනෙකු මේ වනවිට මව්බිමට පැමිණ තිබේ. අවතැන්වූවන්ට නිවාස ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ එම පවුල් සඳහාද නිවාස ලබාදීමට නියමිත බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

එහිදී මොවුන්ට අවශ්‍ය නිවාස මෙන්ම ජලය ,විදුලිය, වැසිකිලි පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් ලබා දීම ද සිදු කෙරේ.

ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටි උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත ඔවුන්ගේ මුල් ගම්බිම් වල පදිංචි කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය හා සම්බන්ධීකරණය කිරීම සිදු කරනු ලබන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය මඟිනි.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කුවේට් තානාපති බදර් අල්නෝ වයිම්,කුවේට් සකාත් හවුස් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මජීඩ් එස්.එම්.එස්. අලසෙමි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, මන්නාරම දිස්ත්‍රික් කළමනාකරු මොහොමඩ් ඊබ්‍රහිම් මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT