නොරෝච්චෝල නගරයේදී පෙරේදා (19) රාත්‍රියේ කුඩා ලොරියක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු මාරක අනතුරකින් පියෙක් සහ පුතෙකු මරණයට පත්ව ඇතැයි නොරෝච්චෝල පොලිසිය කියයි.
මේ අනතුරීන් මරණයට පත්ව ඇත්තේ යතුරුපැදිකරු වන වර්ණකුලසූරිය ජූඩ් අනුශ්ක නිශාන්ත (36) සහ අවුරුදු පහක් වයසැති වර්ණකුලසුරිය අරෝෂ් නැමති කුඩා දරුවෙකි. ඔවුන් කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මේ අනතුරින් මරණයට පත්වු දරුවා කල්කුඩාව පිපෙන කැකුළු පෙර පාසල් අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකි. නොරෝච්චෝල නගරයේ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට දි මේ මාරක අනතුර සිදුව තිබු බව පොලිසිය කියයි.
පාලවිය සිට අධික වේගයෙන් පැමිණි යතුරු පැදිය කල්පිටිය දෙසින් පැමිණි කුඩා ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමේ අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි. අධික වේගයෙන් පැමිණි යතුරු පැදිය ලොරි රථයේ ගැටීමත් සමඟ යතුරු පැදියේ ඉන්ධන ටැංකිය උඩ ගමන් කරමින් සිටි දරුවා ලොරියේ ගැටි අඩි 40 කට ආසන්න දුරකට විසි වී ගොස් එම ස්ථානයේදීම මරණයට පත්වී තිබුණු බව පොලිසිය පවසයි.
යතුරු පැදියේ දරුවාගේ පියාත් ඔහුගේ මිතුරකුත් ගමන් කර ඇත. අනතුරින් බරපතළ තුවාල ලබා සිටි ඔවුන් දෙදෙනා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව රෝහල් බලධාරීයෙක් පැවසීය. පියා මියගොස් ඇත්තේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
යතුරු පැදියට හා ලොරියට මේ අනතුරින් බරපතළ හානි සිදුව තිබේ. ලොරි රථයේ රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් නොරෝච්චෝල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සටහන ඡායාරූප පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ, කල්පිටිය සමූහ කුමාරි පද්මලතා, පුත්තලම සමූහ ක්රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු