Home » ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් ආර්ථික අභියෝගයටත් විසඳුම් ගෙනආ යුතුයි

ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් ආර්ථික අභියෝගයටත් විසඳුම් ගෙනආ යුතුයි

-Techno -2023 කාර්මික හා තාක්ෂණ ප්‍රදර්ශනය විවෘත කරමින් අගමැති කියයි

by sachintha
October 21, 2023 1:07 am 0 comment

ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් තම අධ්‍යයන විෂය මාලාවේ න්‍යායන්ට පමණක් සීමා නොවී රට මුහුණදෙන ආර්ථික අභියෝග රාශියකට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (20) පැවති Techno 2023, කාර්මික හා තාක්ෂණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ආර්ථික අර්බුදයෙන් මිදීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ‘ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ඉංජිනේරුකරණය’ යන තේමාව යටතේ Techno-2023 සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) වෙත ප්‍රශංසාව හිමි වෙනවා. ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම, නව ව්‍යාපාර දිරිගැන්වීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම ප්‍රශංසනීයයි. ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් තම අධ්‍යයන විෂය මාලාවේ න්‍යායන්ට පමණක් සීමා නොවී රට මුහුණ දෙන ආර්ථික අභියෝග රාශියකට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කළ යුතුයි.

1985 වසරේ තරුණ මන්ත්‍රීවරයකු ලෙස IESL පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට එවකට ඇමැති පී. දයාරත්න මහතාට සහාය දුන් අයුරු මට සිහි වෙනවා. අපේ රට තාක්‍ෂණික විශිෂ්ටත්වය කරා ගෙනයෑමට සහ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සහායවීම සඳහා ශ්‍රී ලංකාවේ බහුවිධ ඉංජිනේරු කුසලතා එළිදැක්වීමට ඉංජිනේරු සහ තාක්‍ෂණ පිළිබඳ ප්‍රමුඛ වෘත්තීය ආයතනයක් ලෙස IESL හි කාර්යභාරය අගය කරනවා.

කොවිඩ් -19 වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ගෝලීය ආර්ථික පසුබෑම නිසා ආර්ථික අවපාතයකට, ඉහළ විරැකියාවකට, උද්ධමනයකට සහ පුළුල් වන වෙළෙඳ හිඟයකට මුහුණ දෙන්න සිදු වුණා. ආර්ථික අර්බුදය විසඳීමට ඉංජිනේරුවන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි. ඉංජිනේරුමය විසඳුම් ආර්ථිකය මුහුණ දෙන ඇතැම් අභියෝග විසඳීමට උපකාරී වෙනවා. නිදසුනක් වශයෙන්, යටිතල පහසුකම් සංවර්ධනය මගින් ප්‍රවාහන පද්ධතිය, බලශක්ති උත්පාදනය සහ විදුලි සංදේශය වැඩි දියුණු කළ හැකි අතරම එමඟින් වෙළෙඳාම සහ වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ රැකියා අවස්ථා නිර්මාණය කළ හැකියි.

වැඩ බලන තාක්ෂණ ඇමැති කනක හේරත් මහතා –

වත්මන් අභියෝගවලට මුහුණදීම සඳහා ඩිජිටල් විසඳුම් ලබාදෙන ලෙස ඉංජිනේරු සහ තාක්ෂණ විශේෂඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. එමගින් දළ දේශීය නිෂ්පාදනයට ඩිජිටල් ආර්ථික දායකත්වය රුපියල් බිලියන 3.8 සිට බිලියන 5 දක්වා වැඩි කළ හැකියි. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත හැකි, දේශීය හා විදේශීය රැකියා අවස්ථා උත්පාදනය කළ හැකි, නවෝත්පාදන ප්‍රවර්ධනය කළ හැකි දක්ෂ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමට අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය කිරීමට ඉංජිනේරු විසඳුම්වලට හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් දිසානායක, ඉංජිනේරු. Techno 2023 නියෝජ්‍ය විධායක ලේකම් අර්. බී. එම්. ගුණවර්ධන මහත්වරුන්, IESL හි හිටපු සභාපතිවරුන් සහ සාමාජිකයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT