Home » නවකවදයේ අරමුණ සමාජානුයෝජනයමද?

නවකවදයේ අරමුණ සමාජානුයෝජනයමද?

by sachintha
October 21, 2023 1:03 am 0 comment

1990 දශකය වන තුරුම විශ්වවිද්‍යාලයට ඇතුළු වන තරුණ, තරුණියෝ කායික හා මානසික පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු වූහ. නවකවදය එහෙයින් මහා වියවුලක් වූයේ නැත. වර්තමාන තරුණයා එවන් දරාගැනීමේ හැකියාවකින් තොරය. මක්නිසාදයත් වත්මන් පවුල් සංස්ථාව තුළ රටෙහි බලපවත්නා ආර්ථික සමාජමය හා සංස්කෘතික හේතුන් ප්‍රමුඛ වේ. පවුලේ බොහෝ විට ඇත්තේ එක් දරුවකු හෝ දෙදෙනෙකි. අතීතයේ මෙන් දරුවන් කිහිපදෙනෙක් එකට ගැටෙමින් නොවැඩෙති.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භය තරම් ඈතකට දිව යයි ද නවකවදය යන නවමු නොවූ මාතෘකාව ද එසේ දිගු කලකට දිව යයි. අතීතයේ නවකවදයේ අරමුණ වූයේ, සමාජානුයෝජන ක්‍රියාවලියක් ලෙස පවත්වා ගනිමින් එකිනෙකා හඳුනා ගනිමින් සහෝදරත්වය වර්ධනය කර ගැනීමයි. කාලයාගේ ඇවෑමෙන් එය විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් බවට පත්විය. විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළු වූ වැඩි දෙනෙක් නවකවදයට මුහුණ දෙනු ලැබුවෝය. එය අතීතයේදී ද කායික මෙන්ම මානසිකව ද සිසුහු අත්වින්දහ. නවකයෝ ද එම අත්දැකීම අද්‍යතනයේදී විඳියි. එය ඇතැම් විට ප්‍රීතිය ද වේදනාවද ගෙන එයි. එහෙත්, නවකවදයට ගොදුරු වූ ජ්‍යෙෂ්ඨයින් සියල්ලෝම විශ්වවිද්‍යාලයට ඇතුළු වන නවකයින්ට හිංසන නොකළහ. නවකවදයට බියෙන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා තිබියදී ඒ අවස්ථාව අත්හැර දැමූ පිරිස් ද, එම නවකවදය හේතුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවූ පිරීස් ද අපට අතීතය පිරික්සීමේදී හමු වේ. එහෙත්, අනාගතයේ දී එසේ නොවීමට වග කිවයුත්තෝ ක්‍රියා කළ යුතු නොවේ ද.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වන පිරිසෙන් බහුතරය නිර්ධන පාන්තික හෝ පහළ මධ්‍යම පාන්තික දරුවෝය. ඒ දරුවන් එපමණ දුරක් ගෙන ඒම සඳහා මවුපියන් කොපමණ කැපකිරීම් කර ඇද්ද? ඔවුන් මවුපියන් සතු වගකීම් හා යුතුකම් ඉටු කරමින් තම දරුවා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්නේ අපමණ අපේක්ෂා සිත් තුළ දරාගෙනය. ඒ දරුවන් සුරක්ෂිතව රටේ ආර්ථික සමාජ සංස්කෘතික දියුණුව අරභයා නිර්මාණය කිරීමේ වගකීම විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම රටේ බල පවත්නා රජයට ද පැවරේ.

අපහසුතා මැද උපාධිය

සරසවියට පැමිණෙන සෑම දරුවෙකුහටම සහජයෙන් ලැබු පරිචයක් තිබේ. ඔවුන් විශ්වවිද්‍යාලයෙන් එය වර්ධනය කර ගැනීමට උත්සුක වේ. ඔවුන් දහසක් අපහසුතා මැද උපාධියක් ලබා ගැනීම ඔවුන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවේ. එය අපේ රටේ ජයග්‍රහණයකි. නවකවදය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට අලුත් දෙයක් ද නොවේ. දේශපාලනය ද එසේමය. ඇතැම් දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම තමන්ට නතු කර ගැනීමට ගන්නා උත්සාහයක් ද පෙනී යයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පවා ලේ වගුරන ව්‍යාපාරයක් බවට පත් කරමින් විශ්වවිද්‍යාලය තුළ ජඩ සංස්කෘතියක් නිර්මාණය කර තිබේ.

ශිෂ්‍ය සංගම් මෙහෙයවන දේශපාලන ව්‍යාපාරයක් අතීතයේදී මෙන්ම වර්තමානයේදී විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක විය. එම දේශපාලන ව්‍යාපාර කෙරෙහි විද්‍යාර්ථයින් තුළ වූ යම් පිළිගැනීමක් හෝ ආකල්පයක් හේතු කොටගෙන විනයකින් යුතුව හා වගකීමෙන් යුතුව විධිමත් ආකාරයෙන් විශ්වවිද්‍යාලය තුළ දේශපාලන කටයුතු මෙහෙය විණි. මෑත අතීතයේ ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන පරිවර්තන හේතුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම රැඩිකල් රාජ්‍ය විරෝධී ව්‍යාපාරයන් ද ජාතික තලයේ පිළිගැනිමක් නැති දේශපාලන පක්ෂ අතට තල්ලු වී ගියේය. මේ වන විට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ දේශපාලනය මෙහෙය වන්නේ එම පක්ෂයි. විශ්වවිද්‍යාල සිසුන්ට දේශපාලනය කිරීමේ අයිතිය තිබේ. එය අපට බැහැර කළ නොහැක.

1990 දශකය වන තුරුම විශ්වවිද්‍යාලයට ඇතුළු වන තරුණ, තරුණියෝ කායික හා මානසික පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු වූහ. නවකවදය එහෙයින් මහා වියවුලක් වූයේ නැත. වර්තමාන තරුණයා එවන් දරාගැනීමේ හැකියාවකින් තොරය. මක්නිසාදයත් වත්මන් පවුල් සංස්ථාව තුළ රටෙහි බලපවත්නා ආර්ථික සමාජමය හා සංස්කෘතික හේතුන් ප්‍රමුඛ වේ. පවුලේ බොහෝ විට ඇත්තේ එක් දරුවකු හෝ දෙදෙනෙකි. අතීතයේ මෙන් දරුවන් කිහිපදෙනෙක් එකට ගැටෙමින් නොවැඩෙති. මේ හේතුවෙන් දුප්පත් පවුල්වල දරුවෝ පවා පීඩනය දරා ගැනීම, ගැටලුවලට මුහුණ දීම, උත්සාහ වත්වීම සම්බන්ධයෙන් ඉතා අවම ශක්‍යතාවන් පෙන්නුම් කරති.

නවක නවීකරණය

උප සංස්කෘත හෝ සම්ප්‍රදායන් ගතිකය බලෙන් පවත්වාගෙන යාමේ හැකියාවක් නැත. සමානාත්මතාව සහෝදරත්වය තහවුරු කර ගැනීමට සෑබෑ අවශ්‍යතාවක් පවතී නම් “නවක නවීකරණය“ නමින් තවදුරටත් පවත්වාගෙන යන නවකවදය මඟින් යෞවන පිරිස් කායික, මානසික, වද හිංසා කෙරෙහි යොමු කරවීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. මෙම වද හිංසා පැමිණවීම මඟින් සැබෑ ලෙසම සිදු කෙරෙනුයේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නවක සිසුවාට ස්වාධිනව නැඟී සිටිය හැකි ශක්තිය විනාශ කර දමමින් පටු දේශපාලන අරමුණු කරා යොමු කරවා ගැනීමයි. පසුව මේ සිසුහු පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට අන්තවාදී සටන් අරගල ආදියේ ඉදිරියට දමා ශිෂ්‍ය නායකයන් යැයි කියා ගන්නා පිරිස් පලා යති.

මක්නිසාදයත් නවකවදය වෙනුවෙන් හෝ දේශපාලනය වෙනුවෙන් හෝ වෙනත් කවර හෝ අනවශ්‍ය කාරණාවක් වෙනුවෙන් හෝ මිඩංගු කිරීමට ඇත්තේ තම තරුණ දිවියේ අගනාම කොටසින් බැවිනි. තම දිවියේ අගනාම කාලය අපතේ නොයවා මේ යෞවනයන් කළ යුත්තේ තම මූලික අභිමතාර්ථය සිහියේ තබාගෙන අධ්‍යාපන කටයුතුවල නිරත වීමයි. ඒ මක්නිසාදයත් රටක දියුණුව කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑම් කරනුයේ එම රටේ ජනතාවගේ උසස් අධ්‍යාපන මට්ටම බැවිනි.

නවකවදයට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති මූලිකම නීතිමය ප්‍රතිපාදනය ලෙස 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත හඳුන්වා දෙන්න පුළුවන්. එම පනතේ පූර්විකාවේ දැක්වෙන ආකාරයට එය පනවා ඇත්තේ අධ්‍යාපන ආයතනවලින් නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා ද ක්‍රෑර, අමානුෂික සහ නින්දිත සැලකීම් ද තුරන් කිරීම සඳහායි.

වන්දි මුදල තීරණය

ඒ අනුව අධ්‍යාපන ආයතනයක් තුළ දී හෝ ඉන් පිටත දී නවකවදය සිදු කරන හෝ ඒ සඳහා අනුබල දෙන අයෙක් මේ පනත යටතේ වරදකරුවෙකු වෙනවා. එවැනි අයෙකුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරුව අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමක් මඟින් දඬුවම් කළ හැකි අතර නවකවදයට ලක් වූ තැනැත්තා සඳහා වන්දි ගෙවන ලෙස නියෝග කිරීම ද සිදු කළ හැකි යි. මෙහි දී සිදු වූ හානියේ ස්වභාවය සලකා බලා අධිකරණය විසින් ගෙවිය යුතු වන්දි මුදල තීරණය කිරීම සිදු කරනවා.

යම් හෙයකින් නවකවදය සිදු කරන අතරතුර දී අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ලිංගික අතවරයක් හෝ බරපතළ තුවාලයක් සිදු කළ හොත් එය සිදු කරන තැනැත්තා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරුව වරදකරු වීමෙන් පසුව අවුරුදු දහය නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කළ හැකි අතර අගතියට පත් පාර්ශ්වය සඳහා වන්දි ගෙවන ලෙස නියෝග කිරීම ද සිදු කළ හැකියි.

1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ ශිෂ්‍යයෙකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බිය ගන්වා එම තැනැත්තාට නීතියෙන් නියම කර ඇති කාර්යයක් සිදු නොකිරීමට හෝ නීතියෙන් නියම කර නොමැති කාර්යයක් සිදු කිරීමට තර්ජනය කරන අයෙකුට අවුරුදු පහ නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීම මඟින් දඬුවම් කළ හැකියි.

අධ්‍යාපන ආයතනයෙන් නෙරපීම

එසේම අයුතු ලෙස අවහිර කිරීම සිදු කරන අයෙක්ට අවුරුදු හත නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීම මඟින් ද අයුතු ලෙස සිර කර තැබීම සිදු කරන අයෙක්ට අවුරුදු හත නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම මඟින් ද දඬුවම් කිරීම සඳහා මෙම පනත මඟින් ප්‍රතිපාදන සලසා තිබෙනවා.

නවකවදය සිදු කිරීමේ දී අදාළ අධ්‍යාපන ආයතනයේ දේපළ සඳහා යම් හානියක් සිදු කළ හොත් අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට සහ රුපියල් පන්දහසක් හෝ දේපළට සිදු වූ හානියේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් යන දෙකින් වැඩි ප්‍රමාණය දඩයක් ලෙස ගෙවීමට අධිකරණයට නියෝග කළ හැකියි.

නවකවදය ලබා දීම අදාළ තැනැත්තා එම අධ්‍යාපන ආයතනයෙන් නෙරපීම සිදු කිරීම සඳහා යටත් වන ආකාරයේ වරදක්. ඒ අනුව සිදු කරන ලද ක්‍රියාවේ බරපතළකම සැලකිල්ලට ගෙන වරදකරු වූ තැනැත්තා එම අධ්‍යාපන ආයතනයෙන් නෙරපීමට නියෝග කිරීම සඳහා අධිකරණයට බලය තිබෙනවා. එසේම මෙම පනත මඟින් එහි සඳහන් වරදකාරී ක්‍රියා සිදු කරන තැනැත්තන්ව වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගැනීම සඳහා සාම නිලධාරීන්ට බලය ලබා දී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගන්නා අය වෙනුවෙන් සාමාන්‍යයෙන් ඇප ලබා දීමට නොහැකි අතර (ඇප ලබා දීමට අවශ්‍ය කරන බලය මහාධිකරණ විනිසුරුවරුන් සතු වෙනවා) නඩු විභාගය පවත්වන තුරු අදාළ තැනැත්තන්ව රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකියි. මෙම පනතේ සඳහන් නොවන වරදකාරී ක්‍රියා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය හරහා නඩු පැවරීම සිදු කළ යුතු වෙනවා. නවකවදයට එරෙහිව යොදා ගත හැකි තවත් වැදගත් නීතිමය ප්‍රතිපාදනයක් ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වන 111 වැනි පරිච්ඡේදයේ දැක්වෙනවා. එහි 11 වැනි ව්‍යවස්ථාවේ ‘වධ හිංසාවලින් නිදහස’යන ශීර්ෂය යටතේ “කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ ක්‍රෑර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය” යනුවෙන් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ව්‍යවස්ථාව අර්ථ නිරූපණයේ දී ‘වධ හිංසාව’යන්නට කායික වධ හිංසා පමණක් නොව චාචික සහ මානසික වධ හිංසා ද ඇතුළත් වන බව නඩු තීන්දුවල දී ප්‍රකාශ කර තිබෙනවා.

මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගෙන ඒමේ දී එහි වගඋත්තරකරුවෙකු ලෙස නවකවදය සිදු කළ අය මෙන්ම විශ්වවිද්‍යාලය ද නම් කළ යුතු වෙනවා. එයට හේතුව වන්නේ සිසුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් උපායමාර්ග යොදා ගැනීමට විශ්වවිද්‍යාල පරිපාලනය අපොහොසත් වීම නිසා සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වීමයි. මෙහි දී තමන් අවශ්‍ය කරන මට්ටම පූර්වෝපායන් යොදා ගත් බව ඔප්පු කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය සමත් වුවහොත් නවකවදය සිදු කළ අයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකරය පවත්වා ගෙන යා හැකි යි.

නවකවද විරෝධී ජාතික කමිටුව

මේ වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නවකවදය තුරන් කිරීම සඳහා නවක වද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවා ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පසුගිය 18 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කරනු ලැබීය. එහිදී ඔහු වැඩිදුරටත් දක්වා සිටියේ, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, මානව හිමිකම් කොමිෂන් සභාවේ, පොලිස්පතිවරයාගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, උපකුලපතිවරුන්ගේ සංගමය යනාදියේ නියෝජිතවරුන් මෙම කමිටුවට ඇතුළත් බවත් එය පුළුල් වූ කමිටුවකින් යුක්ත බවයි. කිසියම් නවකවද සිද්ධියක් වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන්1977, 0112123700 දුරකතන අංකවලට හෝ 0765453454 වට්ස්ඇප් පහසුකම සහිත දුරකතන අංකයට දැනුම් දිය හැකියි. පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම දුරකතන අංකවලට නවකවද සිද්ධීන් වාර්තා වූ වහාම ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරමින් නීතිය ක්‍රියාත්මක කළ හැකිය. පසුගිය මාස 12 දී නවකවද සිද්ධි 36ක් වාර්තා වී ඇත. එය පෙර වර්ෂවලට වඩා අඩු සංඛ්‍යාවකි. ඒ අතර විවිධ හේතූන් නිසා පන්ති තහනමට ලක් වූ ශිෂ්‍යයන් 57ක් ද වූහ. උසස් පෙළ විභාගයට සිසුන් 363,000ක් පෙනී සිටි අතර ඉන් 163,000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 45,000ක් පමණක් විශ්වවිද්‍යාල වරම් ලබති. නවකවද සිද්ධීන් සම්බන්ධයෙන් උපකුලපතිවරයාගේ සිට පහළ කාර්ය මණ්ඩලය දක්වා වගකිව යුතුය. එසේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් කෙසේ හෝ නවකවදය තුරන් කර දැමිය යුතුය. ශිෂ්‍යයින්ගේ තාරුණ්‍යය හා ශක්තීන් එක්තරා හැඩ හුරුවකට නිර්මාණය කරන්නටත්, ඔවුන්ට නිසි නායකත්වයක් ලබා දෙමින් සමාජ කළමනාකරණය කිරීමට හැකි පුද්ගලයින් බවට ඔවුන් පත් කිරීමට සිසුන්ගේ දක්ෂතා එළි දක්වන වැඩසටහන් නිරන්තරයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් අවසන ලියා දක්වමි.

මනෝජා සමරනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT