Home » IMF ණය දෙවැනි වාරිකයට කාර්ය මණ්ඩල එකඟතාව ලැබුණා

IMF ණය දෙවැනි වාරිකයට කාර්ය මණ්ඩල එකඟතාව ලැබුණා

by sachintha
October 21, 2023 1:04 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ දෙවැනි වාරිකය ලබාගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍යව තිබූ කාර්ය මණ්ඩල එකඟතාවට පෙරේදා (19) රාත්‍රියේ එළඹුණ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුම අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවැනි වාරිකය ලැබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා:

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකක් පුරා පුළුල් ලෙස සමාලෝචන කරමින් අප සමඟ සාකච්ඡා සිදු කළා. එහිදී විවිධ විෂය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු නිසා එක්වරම කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට නොහැකි වුණා. ඒ නිසා මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවේදී අප මේ පිළිබඳ තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වන විටත් විවිධ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ගැනීමට සිදු වූ නිසා අප නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා කළා. ඒ අනුවයි පෙරේදා රාත්‍රියේ මේ එකඟතාවට ඒමට හැකියාව ලැබුණේ. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡා සිදු කෙරුණා.

“2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට අනුමැතිය ලැබුණු දා සිට එහි අපට තිබූ හිතකර තත්ත්වය පිළිබඳ නොතකා පසුගිය සති කිහිපය වන විටත් ඇතැම් පාර්ශ්ව වෙතින් යම් යම් බාධා කිරීම් සිදු වුණා. ඇතැම් කණ්ඩායම්වලට මේ සාකච්ඡා පිළිබඳ නිසි අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් විවිධ තර්ක ඉදිරිපත් කළා. එහිදී ඔවුන් කටයුතු කළේ දෙවැනි වාරික මුදල අපට ලැබෙයිද යන්න සම්බන්ධව සාමාන්‍ය ජනතාවටත් අනෙක් පාර්ශ්වයන්ටත් සැකයක් ඇති වන ආකාරයටයි.

“එහෙත් දෙවැනි වාරිකය ගැනීමට හෝ ඒ සඳහා විධායක කමිටුවේ අනුමැතිය ගැනීමට අප කිසිම බියක් ඇති කරගත යුතු නැති බව අප පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් දැඩිව අවධාරණය කළා. රජයක් ලෙස අපට ඒ විශ්වාසය තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය කිරීම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව මඟින් බහුපාර්ශ්වික ණය හිමියන්ට හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීම වේගවත් කිරීමට උපකාරි වන බව කිව යුතුයි. ඒ වගේම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම (SLA) හරහා හරහා ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල වෙත ඉතිරි වාරික ගෙවීමට හැකියාව ලැබෙනවා. එමඟින් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරි වනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධ එකඟතාවන්ද නුදුරේදීම අවසන් කළ හැකියි. රජයේ ප්‍රධානතම අරමුණ වුණේ දූෂණය අවම කිරීම සහ විනිවිදභාවය වැඩි කිරීමයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද තිබෙන තත්ත්වයට ගෙන ඒම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසා කළා. එමඟින් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයට තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කෙරුණා. මේ කටයුතුවලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දුන් නායකත්වය පිළිබඳ මා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. පසුගිය කාලයේ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග, නායකත්වය සහ ජනාධිපති කාර්යාලය වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ දායකත්වය මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එහි නිලධාරීන්ගේ සහයෝගය සහ කැප වීම මෙහිදී ඉහළින් අගය කළ යුතුයි. එමඟින් මේ කාර්යයන් ඉටු කිරීම අපට ඉතා පහසු වුණා.”

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT