මෙරට නිෂ්පාදන චීනයට /ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමටත් පියවර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමූළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දරණ මධ්‍යස්ථ ස්ථාවරය ඇගයීමට ලක් කළේය.
චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා චීන මහජන මහ ශාලාවේදී ඊයේ (20) පෙරවරුවේ පැවැත්වුණු අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී චීන ජනාධිපති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහද කතාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වූහ.
“එක් චීනයක්” ප්‍රතිපත්තිය පිළිගනිමින් “එක් තීරයක් – එක් මාවතක්” ක්‍රියා පිළිවෙතට ශ්‍රී ලංකාව දෙන සහාය පිළිබඳ ෂී ජින් පිං මහතා මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘතවේදීත්වය පිරිනැමීය.
වරාය නගරය හා හම්බන්තොට වරාය “එක් තීරයක් – එක් මාවතක්” ක්‍රියා පිළිවෙත උදෙසා මුලින්ම එක් වූ ව්‍යාපෘති අතරට ගැනෙන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ලාංකේය නිෂ්පාදන චීනයට ආනයනය කිරීමටත්, ශ්‍රි ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
ශ්‍රි ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා සුහද, ප්‍රායෝගික හා කඩිනම් සහාය ලබාදීමට චීනය කටයුතු කරන බවට ද චීන ජනාධිපතිවරයා යළි සහතික විය.
ෆාහියන් භික්ෂුවගේ හා ෂෙන් හර්ගේ චාරිකා සටහන් ඔස්සේ චීන – ශ්‍රී ලංකා අතීත සබඳතා පිළිබඳ තොරතුරු රැසක් හෙළි වන බවද ෂි ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව එකට එකතුව ඉහළ ආර්ථික වර්ධනයක් ඔස්සේ නවීන චීන අනන්‍යතාවක් ගොඩනැඟීම උදෙසා සෑම උත්සාහයක්ම දරමින් සිටින බවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි ලාංකිය සමාජය ඉන් මුදාගෙන සංවර්ධන මාවතකට යොමු කර ඇති බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඈත අතීතයේ පටන් චීනය ශ්‍රී ලංකාවට දෙන සහාය ගැන මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ෂී ජින් පිං මහතා සෑමවිටම ශ්‍රී ලංකාව කෙරෙහි මිත්‍රශීලි හා සුහදශීලි ආකල්පයෙන් ක්‍රියා කිරීම අගය කළේය.
ෆාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කරමින් “සුදු තුරඟ” විහාරස්ථානයේ ලාංකීය බෞද්ධ මන්දිරයක් හා ස්ථූපයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය. එම කටයුතු සඳහා චීනයේ සහාය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
චීනය, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක් කරන සමුද්‍ර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එය ඉතා වැඩදායක කාර්යයක් බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ඒ සඳහා මුලපුරන ලෙස වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියන් සාගර කලාපයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඉන්දියන් සාගර කලාපයේ සාමය සහ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ශ්‍රි ලංකාව සෑමවිටම කැපවී සිටින බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියාව සංවර්ධන කලාපයක් බවට පත් කර ගැනීමේ ව්‍යායාමයේ දී ඉන්දියාව හා චීනය එකට එක්ව ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකාවේ ස්ථාවරය බව ද සඳහන් කළේය.
වසර 2048 වන විට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අරමුණ ජය ගැනීමට “එක් තීරයක් – එක් මාවතක්” 03 වන සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරුණු අට වැදෑරුම් වැඩපිළිවෙළ ඉතාමත් ශක්තිමත් පදනමක් වනු ඇති බව ද පැවසීය.
ගාසා තීරයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ද දෙරටේ නායකයන්ගේ අවධානය යොමු විය. විදේශ ඇමැති අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.