සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන නේෂන් කුසලාන නෙට්බෝල් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.
දුලංගි වන්නිතිලකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස භාෂිනී යෝෂිතා ද සිල්වා කටයුතු කරන අතර, මේ කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු ද ඇතුළත් කර තිබේ.
මේ කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස නාලිකා ප්‍රසාදි මහත්මිය කටයුතු කරන අතර, කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස ශිරෝමි කුරුප්පු සහ සම්බාහක ලෙස ආවර්ජනා ද සිල්වා මහත්මීහු මේ සංචාරයට එක් වෙති.
මේ කණ්ඩායම ඊයේ (19) ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍යාංශ ලේකම් කේ. මහේසන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශේමාල් ප්‍රනාන්දු මහත්වරුන් හමුවිය.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.
ශ්‍රී ලංකාව සමඟින් සිංගප්පූරු ජාතික කණ්ඩායම, සිංගප්පූරු ‘ඒ‘, කැනඩාව, කුක් අයිලන්ඩ්ස් සහ පැපුවා නිව්ගිනියාව එක් වන මේ තරගාවලිය ලබන ඉරිදා (22) සිට 28 වැනිදා දක්වා පැවැත්වේ.
තරගාවලිය ආරම්භ වන ලබන ඉරිදාම ශ්‍රී ලංකා පිල තරග බිමට පිවිසෙන්නේ කැනඩාවට එරෙහිවය, 23 වැනිදා සිංගප්පූරු ‘ඒ’ කණ්ඩායම සමඟින් තරග වදින ශ්‍රී ලංකාව, 24 දා කුක් අයිලන්ඩ්, 25 වැනිදා පැපුවා නිව්ගිනියාව සහ 27 වැනිදා සිංගප්පූරු ජාතික කණ්ඩායම හා තරග තරග වැදීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය 28 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය – දුලංගි වන්නිතිලක (නායිකාව), භාෂිනී යෝෂිතා ද සිල්වා ( උපනායිකාව), ගයන්ජලී අමරවංශ, රෂ්මි දිව්‍යාංජලී පෙරේරා, ඉමාෂා සංකල්පනී පෙරේරා, ශලනී රුක්ෂලා හපුආරච්චි, සචිනි හිරුණිකා රොද්‍රිගෝ, චලනි නදීශා, හංසිමා සපුමාලි දිසානායක, සුසීමා කුමාරි බණ්ඩාර, කසුනිකා සේමිනි අල්විස්, චනිදු රෂ්මි ඔබේසේකර.
අතිරේක – ශානිකා මධුෂානී පෙරේරා, ගයාත්‍රී කෞෂල්‍යා වීරසූරිය, සජලි අප්නා.
නිරෝෂාන් ප්‍රියංකර